රජය ලබා දුන් පොරොන්දු ඉටු නොකිරීම නිසා වෛද්‍ය, ඉංජිනේරු, ගුරු සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු සමස්ත වෘත්තීය සමිති ක්ෂේත්රයම අද වන විට රජයට එරෙහිව දැඩි අතෘප්තියෙන් පසුවන බවත්, තමන් දැරූ බලාපොරොත්තු බිඳවැටීම හමුවේ ඔවුන් නැවත වරක් සටන් බිමට පිවිසීමේ සූදානමක සිටින බවත් මහාචාර්ය ජී.එල්. පීරිස් පවසයි.
කොළඹ, මල්පාර දේශපාලන කාර්යාලයේ අද (17) පැවැති ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුටරටත් අදහස් පළ කරමින් මහාචාර්ය ජී.එල්. පීරිස් මෙසේ පැවසීය,
මෙවර අයවැය ලේඛනය මගින් ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් වෙන් කර ඇති බව රජය පැවසුවද, පවතින නීතිමය හා පරිපාලනමය බාධා හේතුවෙන් එම මුදල් බිම් මට්ටමේ ක්‍රියාත්මක කර ජනතාවට සහන සැලසීමට කිසිදු ප්‍රායෝගික වැඩපිළිවෙළක් දක්නට නැත. රජයේ මාණ්ඩලික නිලධාරීන් ටෙන්ඩර් පටිපාටිය හරහා මුදල් වියදම් කිරීමට දැඩි බියක් දක්වයි.
පසුකාලීනව සිදුවන විමර්ශන සහ 'ත්රස්තවාදයට විරුද්ධව රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත' වැනි නව නීති හේතුවෙන් සද්භාවයෙන් තීන්දු ගන්නා නිලධාරීන් පවා අපරාධ නීතිය යටතේ දඬුවම් ලැබීමේ අවදානමකට ලක්ව තිබේ. මේ නිසා වගකීම් භාර ගැනීමෙන් නිලධාරීන් වැළකී සිටීම හේතුවෙන් සංවර්ධන ව්‍යාපෘති සම්පූර්ණයෙන්ම ඇණහිට ඇත.
“දිත්වා” ව්‍යසනයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රුපියල් බිලියන 500ක් වෙන් කළද, ඉන් වැය කර ඇත්තේ 8%ක් වැනි ඉතාම සුළු අගයක් පමණි. ගිය වසරේ ප්‍රාග්ධන වියදම් සඳහා වෙන් කළ රුපියල් බිලියන 1,380න් වසර මැද වන විට වැය කර තිබුණේ 18%ක් පමණක් වන අතර, වසර අවසානයේදී පවා වැය කළ හැකි උපරිමය 30% - 40% අතර අගයකි. මෙවර අයවැයෙන් රුපියල් බිලියන 2,000ක් වෙන් කළද, පෙර වසරේ වියදම් කළ ආකාරය පිළිබඳ කිසිදු වාර්තාවක් රජය ඉදිරිපත් කර නොමැත.
වත්මන් රජය බලයට පත් වන විට බිංදුව මට්ටමේ (0.8%) පැවති උද්ධමනය මේ වන විට 8.3% දක්වා වර්ධනය වී තිබේ. එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේ රුපියල් 293 දක්වා අඩු කරගත් ඩොලරයේ අගය, මේ වන විට රුපියල් 337 දක්වා ඉහළ ගොස් ඇත.
මැදපෙරදිග යුද්ධය නිසා ඩොලරය ඉහළ ගිය බවට රජය කරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම පදනම් විරහිතය. 2026 පෙබරවාරි 28 වැනි දින යුද්ධය ආරම්භ වීමටත් පෙර ඩොලරය රුපියල් 325 දක්වා ඉහළ ගොස් තිබිණි.
පසුගිය වසරේ දෙවැනි කාර්තුව සහ මේ වසරේ දෙවැනි කාර්තුව සමඟ සසඳන විට, මෙරට ආර්ථික සංවර්ධනය 5.1% සිට 4.2% දක්වා සැලකිය යුතු ලෙස සංකෝචනය වී තිබේ. විදේශීය ආයෝජන රට තුළ රඳවා ගැනීමට අවශ්‍ය ස්ථාවර සහ හිතකර පරිසරයක් අහිමි වීම මේ ආර්ථික පසුබෑමට ප්‍රධානම හේතුව වී ඇත.
හිටපු රජය විසින් සම්මත කරගත් 'ආර්ථික පරිවර්තන පනත' වත්මන් රජය විසින් අත්හිටුවීම නිසා විදේශ සංචිත වර්ධනය නතර වී ඇත. රනිල් වික්‍රමසිංහ පාලනයේ මාස 28 තුළ ඩොලර් මිලියන 6,000කින් සංචිත වර්ධනය වුවද, වත්මන් රජයේ මාස 28 තුළ එය වර්ධනය වී ඇත්තේ ඩොලර් මිලියන 1,000කින් පමණි.
මේ හේතුවෙන් නව ආයෝජන නොලැබෙනවා පමණක් නොව, පවතින ආයෝජනද රට හැර යමින් පවතී. විශේෂයෙන්ම:
අදානි සමාගමේ ඩොලර් මිලියන 500ක බලශක්ති ආයෝජනය රටට අහිමි විය.
චයිනා මර්චන්ට් සමාගම විසින් චීන වරායේ ක්‍රියාත්මක කරන්නට තිබූ ඩොලර් මිලියන 392ක ව්‍යාපෘතිය නතර විය.
දීර්ඝ කාලයක් මෙරට ක්‍රියාත්මක වූ ඇඟලුම් ක්ෂේත්රයේ නෙක්සස් (Nexus) සමාගම රට හැර යාමට තීරණය කිරීම නිසා රැකියා 2,000ක් අහිමි වීමේ අවදානමක් මතුව තිබේ.
මීට අමතරව විදේශ ආයෝජන සඳහා සුදුසු වාතාවරණයක් රට තුළ නොමැති වීම නිසා, බංගලාදේශය සහ වියට්නාමය වැනි වෙනත් රටවල් කරා ආයෝජන ඇදී යමින් පවතියි. ගෝලීය මට්ටමේ දැවැන්ත සමාගම් සහ බ්‍රෑන්ඩ්ස් (Brands) මෙරට අත්හැර යාම හරහා ආර්ථිකය තවදුරටත් අවදානමකට ලක්ව තිබේ.
ලෝක බැංකු වාර්තා අනුව මෙරට ජනගහනයෙන් 30%ක් දරිද්‍රතාවයෙන් පෙළෙන අතර මිලියන 6කට දිනකට එක පෝෂ්‍යදායී ආහාර වේලක් හෝ ලබා ගැනීමට නොහැකි වී ඇත. රජය ලබා දුන් පොරොන්දු ඉටු නොකිරීම නිසා වෛද්‍ය, ඉංජිනේරු, ගුරු, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු සියලුම වෘත්තීය සමිති අද වන විට විශ්වාසභංගත්වයට පත්ව වීදි බැස ඇත.
මේ හේතුවෙන් සමස්ත වෘත්තීය සමිති ක්ෂේත්රයම අද වන විට රජයට එරෙහිව අතෘප්තියෙන් පසුවේ. තමන් දැරූ බලාපොරොත්තු සහ දුන් පොරොන්දු ඉටු නොවූ තැන, මේ සියලු පාර්ශ්වයන් රජයේ ක්‍රියාමාර්ගවලට එරෙහිව නැවත වරක් සටන් බිමට පිවිසීමේ සූදානමක පවතියි.
2027 වසරේදී විදේශ ණය ගෙවීම ආරම්භ කිරීමට නම් ආර්ථික වර්ධනය අත්‍යවශ්‍ය වන අතර, ඒ සඳහා විදේශ ආයෝජන රටට ලැබිය යුතුය. නමුත් කිසිදු විශාල විදේශ ආයෝජනයක් ලංකාවට ලබාගැනීමට වත්මන් රජය අපොහොසත් වීම රට බරපතළ ඛේදවාචකයකට මුහුණදීමක් බව මහාචාර්ය ජී.එල්. පීරිස් අවධාරණය කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
