කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩ කිරීමට අනුමැතිය ලබාදීම සඳහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 64ක කප්පම් මුදලක් ඉල්ලා තර්ජනය කිරීමේ සිද්ධියට වරදකරු වූ බස්නාහිර පළාත් මහ ඇමැතිවරයාව සිටි හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට එරෙහි නඩුව අද(05) මහාධිකරණය හමුවේ කැඳවනු ලැබුවේය.
මෙහිදී, කොළඹ මහාධිකරණය නියම කළ රුපියල් මිලියන 25ක දඩයෙන් කොටසක් (ලක්ෂ 90) අද දින ගෙවීමට නියමිතව තිබුණද, අද නඩුව කැඳවූ අවස්ථාවේදී හිටපු අමාත්‍යවරයා සිය නීතිඥවරයා මගින් ඉල්ලා සිටියේ ඉතුරු කොටස ගෙවීමට තවත් කාලයක් ලබා දෙන ලෙසයි.
ඒ අනුව මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග නියෝග කලේ ලබන වසරේ පෙබරවාරි 01 වැනිදා ඉතිරි මුදල ගෙවීම සඳහා යලි නඩුව කැඳවන බවයි.
2015 වසරේ අප්‍රේල් 10 වැනි දින මොරටුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වන එස්. ක්‍රිස්ටියන් ගිහාන් මෙන්ඩිස්ගෙන් ඉඩමක් ගොඩකිරීමට අවසර දීම සඳහා රුපියල් මිලියන 64ක මුදලක් ඉල්ලා, ඉන් රුපියල් මිලියන 15ක් ලබා ගනිමින් බියගන්වා මුදල් අයකිරීමේ චෝදනාව මත නීතිපතිවරයා විසින් හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිය වන මොරිස් ස්ටෙලා රණතුංග සහ නරේන් කුමාර් ෆාරික් යන විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා 5ක් යටතේ කොළඹ මහාධිකරණයේදී මෙම නඩුව පවරන ලදී.
මෙම නඩුව විභාග කළ කොළඹ මහාධිකරණය 2022 ජූනි 06 වැනි දින තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රසන්න රණතුංග වරදකරු බව තීන්දු කළේය. එහිදී ඔහුට බරපතළ වැඩ සහිතව වසර 2ක සිර දඬුවමක් නියම කර, එය වසර 5කට අත්හිටුවීමට අධිකරණය නියෝග කළේය. මීට අමතරව රුපියල් මිලියන 25ක දඩයක් සහ අගතියට පත් ව්‍යාපාරිකයාට රුපියල් මිලියනයක වන්දි මුදලක් ගෙවන ලෙසත්, දඩ මුදල නොගෙවන්නේ නම් තවත් වසර නවයක සිර දඬුවමක් පනවන ලෙසත් නියම කළ අතර, නඩුවේ දෙවැනි විත්තිකාරිය වූ හිටපු අමාත්‍යවරයාගේ බිරිය නිදහස් කෙරිණි.
කොළඹ මහාධිකරණය ලබා දුන් මෙම නියෝගයට එරෙහිව විත්තිකරු අභියාචනයක් ඉදිරිපත් කර තිබූ අතර, එය පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ, තම සේවාදායකයාට නියම වී තිබෙන වන්දි මුදල් සහ දඩ මුදල ගෙවීමට කාලය ලබාදෙන්නේ නම් අදාළ අභියාචනය ඉල්ලා අස්කර ගැනීමට සූදානම් බවයි. නීතිපතිවරයා සහ අගතියට පත් පාර්ශ්වය මීට විරුද්ධ නොවන බව දැන්වීමත් සමඟ අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අධිකරණය අවසර ලබා දුන්නේය.
ඒ අනුව එම ලක්ෂ 250 මුදලින් තවත් ලක්ෂ අනුවක් පමණක් ගෙවීමට ඉතිරිව ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
