Image

"යළි කිසිසේත්ම ජාතිවාදයට හෝ ආගම්වාදයට ඉඩ තබන්නේ නැහැ" - ජනාධිපති අනුර කුමාර

"යළි කිසිසේත්ම ජාතිවාදයට හෝ ආගම්වාදයට ඉඩ තබන්නේ නැහැ" - ජනාධිපති අනුර කුමාර

දශක ගණනාවක් තිස්සේ මෙරට දේශපාලනය වූයේ සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාව එකිනෙකා කෙරෙහි උසිගන්වා ඡන්ද ලබාගැනීමත්, ඉන්පසු පාර්ලිමේන්තුවට පැමිණ එකතු වී සොරකම් කිරීමත් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේය.

ජාතික ජන බලවේග රජයට වසර දෙකක් පිරීම නිමිත්තෙන් සංවිධානය කෙරෙන ජනරැළි මාලාව යටතේ ඊයේ (11) නිකවැරටිය ප්‍රදේශයේ පැවැති ජනරැළිය අමතමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.

රටක් ගොඩනැගීමේදී ජාතික සමගිය එහි ප්‍රධානතම පදනම් සාධකයක් වන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, යළි කිසිසේත්ම ජාතිවාදයට හෝ ආගම්වාදයට ඉඩ නොදෙන ආණ්ඩුවක් නිර්මාණය කර ඇති බව පැවසීය.

එමෙන්ම ජාතික ජන බලවේගයේ ගෙවුණු වසර දෙකක පාලන කාලය ඇතුළත රට තුළ කිසිදු ජාතිවාදී හෝ ආගම්වාදී ගැටුමක් වාර්තා වී නොමැති බවද ජනාධිපති අනුර කුමාර පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා පැවැසුවේ මෙසේය.

"අපිට ජාතික සමගිය අවශ්‍යයි. යුද්ධය නිසා දකුණේ වගේම උතුරේත් වටිනා තරුණ ජීවිත, දේපොළ අහිමි වුණා. යුද්ධ තියෙන රටවල් ලෝකයේ ඉස්සරහට යන්නේ නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සියලු දෙනා මේ රටේ ඉපදෙන, ජීවත් වෙන සහ පස් වෙන අපේ සහෝදර ජනතාව. දශක ගණනක් අපේ රටේ දේශපාලනය වුණේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා එකිනෙකාට එරෙහිව උසිගන්වලා ඡන්දය අරන් පාර්ලිමේන්තුවට ඇවිත් එකතු වෙලා හොරකම් කරපු එක. ජාතික ජන බලවේගයේ අවුරුදු දෙක ඇතුළත ජාතිවාදී හෝ ආගම්වාදී කිසිදු ගැටුමක් වාර්තා වුණේ නැහැ. යළි කිසිසේත්ම ජාතිවාදයට ඉඩ නොදෙන ආණ්ඩුවක් අපි නිර්මාණය කර තිබෙනවා."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න