සිරගත වන භික්ෂූන් වහන්සේලා බන්ධනාගාරයෙන් බැහැරට රැගෙන යාමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය සහ ඒ හා සබැඳි රෙගුලාසි යාවත්කාලීන කිරීමේ කටයුතු මේ වන විට කඩිනමින් සිදු කෙරෙමින් පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිදුවීම පාදක කරගනිමින්, මහනායක මාහිමිපාණන් වහන්සේලා විසින් බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත යොමු කරන ලද ලිපියට අදාළව, ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ නියෝජිත හිමිවරුන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර විශේෂ සාකච්ඡාවක් ඉකුත් ඔක්තෝබර් 08 වනදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
එහිදී දැනට පවතින 1877 බන්ධනාගාර ආඥා පනත සහ එහි රෙගුලාසි තුළ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් වෙනම විශේෂ රෙගුලාසි ඇතුළත්ව නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, නීතිය පසෙකලා තනි පුද්ගලයන් උදෙසා වෙනස් නියෝග ලබාදීමට තමන් සූදානම් නොමැති බවත්, සිදුකළ යුත්තේ වර්තමානයට අනුරූප වන පරිදි පවතින නීතිය සංශෝධනය කිරීම බවත් අවධාරණය කළේය.
එහිදී මහා සංඝරත්නය යෝජනා කළේ, යම් භික්ෂූන් වහන්සේ නමක් අධිකරණයකින් වරදකරු වී වසර 03කට අධික කාලයකට සිරගත කෙරෙන අවස්ථාවකදී, උන්වහන්සේ අයත් වන නිකායට හෝ පාර්ශ්වයට ඒ පිළිබඳ දැනුම් දී, එම නිකායේ හෝ පාර්ශ්වයේ අදහස් හා නිර්දේශ මත උන්වහන්සේලා විවෘතව බැහැරට රැගෙන යාමට අදාළ වන පරිදි රෙගුලාසි සකස් කිරීම සුදුසු බවයි.
එම යෝජනාව පිළිගත් ජනාධිපතිවරයා, සති දෙකක් ඇතුළත අවශ්‍ය නීතිමය රෙගුලාසි කඩිනමින් සකස් කර අවසන් කරන ලෙස අධිකරණ අමාත්‍යවරයාට උපදෙස් ලබා දුන්නේය.
ඒ අනුව, බන්ධනාගාර ආඥා පනත යටතේ වන රෙගුලාසි සහ නිත්‍ය නියෝග අධ්‍යයනය කර යාවත්කාලීන කිරීම සඳහා බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීගේ සභාපතිත්වයෙන් යුතු පස්දෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් ඉකුත් 08 වනදාම පත් කරන ලදී.
මෙම කමිටුවේ පළමු රැස්වීම සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 09 වනදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වූ අතර, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය මාර්ගෝපදේශ ලබා දීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර විසින් සිදු කරන ලදී.
සති දෙකක කාලයක් ඇතුළත සංශෝධිත නව රෙගුලාසි සහ නිත්‍ය නියෝග ඉදිරිපත් කිරීමට කමිටුව නියමිත අතර, භික්ෂූන් වහන්සේලාට අදාළ යෝජනා සහ අදහස් ලබා ගැනීම සඳහා එම සංශෝධන එළඹෙන සතියේ මැද භාගය වන විට මහා සංඝරත්නය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම රෙගුලාසි ඉදිරි සති දෙක ඇතුළත සම්මත කරගැනීමට අපේක්ෂිත අතර, ඉන් අනතුරුව අදාළ නිකායේ හෝ පාර්ශ්වයේ නිර්දේශය මත භික්ෂූන් වහන්සේලා චීවරය සහිතව බන්ධනාගාරයෙන් බැහැරට රැගෙන යාමට කටයුතු කෙරෙනු ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
