Image

බන්ධනාගාරවල පිරිස වැඩිවීමට හේතුව අමාත්‍යවරයා පැහැදිලි කරයි

බන්ධනාගාරවල පිරිස වැඩිවීමට හේතුව අමාත්‍යවරයා පැහැදිලි කරයි

බන්ධනාගාරවල පිරිස වැඩිවීමට හේතුව වන්නේ 2022දී විෂ වර්ග, මත්ද්‍රව්‍ය සහ අබිං පනතෙහි සංශෝධන සහ රස පරීක්ෂක වාර්තා යැයි අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ මීගමුව බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධයෙන් ඊයේ (07) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමිනි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ අධිකරණ අමාත්‍යවරයා. 

 

රජය මේ පිළිබදව අවතක්සේරු කරන්නෙ නැහැ
''2026.07.05 වන දින සහ 06 වන දින මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් කරුණු උත්තරීතර සභාව වෙත යෝග්‍ය සහ කාලෝචිත බැවින් මේ කරුණු ඉදිරිපත් කරන්න කැමතියි.

මූලිකව ම මෙම අවාසනාවන්න සිද්ධිය හරහා නිලධාරීන් 07 දෙනෙකු සහ රැඳවියන් 19 දෙනෙකුත් මියගොස් තිබෙනවා. මුලින්ම ඒ පවුල් සඳහා  බලවත් ශෝකය ප්‍රකාශ කර සිටිනවා. ඊට අමතරව බන්ධානාගාර නිලධාරීන් රැඳවියන් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් පවතිනවා. ඔවුන්ටද ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.  මෙම තත්ත්වය සිදු නොවිය යුතුව තිබූ ඛේදවාචකයක්. කිසිම අම්මා කෙනෙක් බලාපොරොත්තු වෙන්නෙ නැහැ පයින් ඇවිදගන ගිහින් ආපසු පෙට්ටියකින් එයි කියලා. ඒ වගේම කිසිවෙක් හිතන්නෙ නැහැ තමන් ගේ ස්වාමිපුරුෂයා රස්සාව කරන්න ගිහිල්ලා පෙට්ටියෙ එයි කියලා. ඒ නිසා ඒ දෙපාර්ශවය තාඩන පීඩනය ආණ්ඩුව වෙත එල්ල කිරීම ඒ ආකාරයෙන් බාරගත යුතුයි. ඒ නිසා කිසිම අවස්ථාවක අපේ රජය මේ පිළිබදව අවතක්සේරු කරන්නෙ නැහැ. සුළුවෙන් තකන්නෙ නැහැ.

 

බන්ධනාගාර දෙපාර්තමේන්තුව අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කරමින් පවතිනවා

මෙම බරපතළ ඛේදවාචකයේ නොවිය යුතුව තිබූ දෙයක් වුවත් වෙච්ච වැරුද්ද පිළිබඳව සොයා බලා ඒවා නිවැරදි කරගෙන කටයුතු කළ යුතුයි. ඒ නිසා මේ පිළිබඳව පූර්ණ විමශන ක්‍රියාත්මක වෙනවා. මේ හරහා මේ තත්ත්වය ඇතිවීමට හේතුව බන්ධනාගාර තදබදය වෙනත් කරුණක්ද යන්න පිළිබඳව සොයා බලන්න කටයුතු කරනවා.  කැබිනට් මණ්ඩලය හරහා විශ්‍රාමික විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු, ජනාධිපති නීතිඥ රොහාන් වීරකොන්, නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යේෂ්ඨ නිලධාරියකු වන මිලින්ද ගුණතිලක යන මහත්වරුන් ගෙන් සමන්විත කමිටුවක් මේ වන විටත් ජනාධිපති ලේකම්තුමන් විසින් පත් කර තිබෙන අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ද අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කරමින් පවතිනවා.
හෙට උදේ 7.30 වන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් කැඳවලා මේ සිදුවී ඇති තත්ත්වය පිළිබඳව සහ එවැනි තත්වයක් අනෙකුත් බන්ධනාගාරවල ඇතිවීම වළක්වා ගන්නේ කෙලෙස ද යන්න සාකච්ඡා කිරීමටත් රජයක් වශයෙන් මෙහි වගකීම භාරගෙන ප්‍රශ්ණ විසදීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට මැදිහත් වී සිටිනවා.

 

මෙය සංවිධානාත්මක පිරිසක ගේ වැඩක්

මෙතන ඉන්නේ රැඳවියො: කුඩු කාරයෝද අහිංසකයෝද කියන එක නෙවෙයි අපි බලන්න ඕන මනුෂ්‍ය ජීවිත මේ විදියට නැතිවෙන්න දෙන්න බැහැ. අපිට රැඳවියන් ගෙ ජීවිතයට වෙනත් වටිනාකමකුත් නිලධාරියා ගේ ජීවිතයට වෙනම වටිනාකමකුත් නැහැ. අපි එහෙම කරන්නෙත් නැහැ.
2027.07.05 වන දින පෙරවරුවේ මුලින්ම මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ගැටළුවක් ඇතිවෙලා තියෙනවා. මේක රැඳවියන් සහ නිලධාරීන් අතර ගැටුමක් නෙවෙයි. එතන රැඳවියන් 35ක් තුවාල වෙලා දෙදෙනෙක් මිය ගිහින් තියනවා එම අවස්ථාවේ එම ගැටලුවට මැදිහත් වෙලා එය සමථයකට පත් කරන්න හැකිව තිබෙනවා. පසු දා උදෑසන රැඳවියන් වෙත ආහාර ලබා දී උසාවි ගෙනයාමට සූදානම් කරමින් සිටිය දී ක්ෂණයකින් නැවතත් මේ දෙපිරිස අතර ගැටුම පටන් ගෙන තියෙන්නෙ. මොවුන් මුලින්ම සීසීටීවී කැමරා පද්ධතිය කඩා විනාශ කරනවා. මිලියන ගණනක් වටිනා Body Scanner එකක් තියනවා ඒකත් කඩලා විනාශ කරනවා මෙය සිදු කරන්නෙ සංවිධානාත්මක පිරිසක්. බන්ධානාගාරය තුළට මත්ද්‍රව්‍ය සහ අනීතික දේවල් ගෙන ඒමට තිබෙන අපහසුව නිසයි කියලා අපි විශ්වාස කරනවා. මේ සියලු දේවල් පරීක්ෂණවලින් පසුව තීරණය කළ හැකියි.

 

ආයුධ කිහිපයකුත් රැඳවියන් අතට පත්වෙලා

ප්‍රථමයෙන් පහරදීලා තියෙන්නෙ නිරායුධ නිලධාරීන්ට. මියගිය නිලධාරීන් මිය ගිහින් තියෙන්නෙ පහර දීමෙන් ඉතා අමාණුෂීක විදිහටයි. ගඩොල්වලින් පොලුවලින් පහර දීලා තියෙන්නෙ. යකඩ දොර කඩාගෙන මේ පිරිස එළියට ආවා නම් මීට වඩා විනාශයක් වෙන්න තිබුණා. ආයුධ කිහිපයකුත් රැඳවියන් අතරට පත්වෙලා තිබෙනවා. කොහොමද ඒක උනේ... ආයුධ ගබඩාවෙන් ගත්ත ද, පහරදී උදුරලා ගත්ත ද කියලා පරීක්ෂණවලින් බලන්න පුළුවන්. රැඳවියන් මිය ගිය ආකාරය ගැන මේ වන විට මරණ පරීක්ෂණ කරමින් පවතිනවා. පසුව අපි මේ ගැටුමට මූලික වු 734 දෙනෙකු වෙනත් බන්ධනාගාර වෙත ආරක්ෂිතව මාරු කිරීමට කටයුතු කළා. මේ වන විට තත්වය සමනය වී තිබෙනවා.

 

බන්ධනාගාරවල පිරිස වැඩිවීමට හේතුව
සමහරු අපිට චෝදනා කරනවා වැඩේ ඔඩු දුවලා පුපුරනකම් හිටියා කියලා ඒක වැරදියි. එහෙම උනේ නැහැ. අපි බලයට එනවිටත් 10000ක් ඉන්න අවශ්‍ය තැන 27000ක් 29000 පමණ හිටියා.
බන්ධනාගාරවල පිරිස වැඩිවීමට හේතුව තමයි 2022දී විෂ වර්ග මත්ද්‍රව්‍ය සහ අබිං පනතට ගෙනාපු සංශෝධන සහ රස පරීක්ෂක වාර්තා. අපි බලයට එනවිට  රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 118යි. 2022න් පස්සෙ මේවා පුරවලා නැහැ. අපි කලේ පසුගිය වසරේ දෙසැම්බර් මස සිට බඳවා ගැනීම් සිදු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් යනවා. 2022 සංශෝධනයෙන් පසුව 2g ට වඩා වැඩි මත්ද්‍රව්‍ය නඩු සඳහා මහාධිකරණයෙන් ඇප දීමේ හැකියාවක් තිබුණා. නමුත් සංශෝධනයෙන් පසුව එය අභියාචනාධිකරණයට ගෙනාවට පස්සෙ රට වටේම ඉන්න සියලු දෙනා කොළඹ අභියාචනාධිකරණයට පැමිණිය යුතුයි. නඩුව ගොණු කරන්නෙ කොයි උසාවියෙ ද කියලා කියන්න බැහැ. රස පරීක්ෂක වාර්තා එනතෙක් ශුද්ධ බර ප්‍රමාණය හොයන්න බැහැ. එතකොට හොයාගන්න අවුරුද්දක් යනවා නීති කටයුතු කරන්න තව මාස 06ක් යනවා එතකොට අවුරුද්දයි මාස 06ක් යනවා. අපි ආව ගමන් මෙන්න මේ සංශෝධනය කරන්න කටයුතු කරමින් පවතිනවා. ශුද්ධ බරට නොවෙයි දළ බරට උසාවිය තෝගැනීමේ හැකියාව තියෙනවා. බන්ධනාගාර තදබදය අඩු කරන්න ඉන්න තැන්වල ඉඩ මදි නිසා ඒවා වැඩි කිරීමට අවශ්‍ය ඉදිකිරීම් කරමින් පවතිනවා. අනෙක් කාරණය තමයි හිරේ යවනවා වෙනුවට අපි මේ දවස් වල පත්කරලා තියනවා කමිටුවක් නිවාස අඩස්සියේ තිබීම සම්බන්ධයෙන් ඉලෙක්ට්‍රොනික් මොනිටරිං ක්‍රමයක්. ඒ නිසා අපි උඩ බලාගන හිටියා නෙවෙයි අවශ්‍ය පියවර ගත්තා කලින් ආණ්ඩුත් පියවර අරන් තිබුණා නම් මේවා අපිට ලේසියි.

 

රජයේ සේවයට එන පිරිස අඩු වෙලා

අපි එකොට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 1348 ක් තිබුණා. අපි ඇවිත් 401 ක් දැනට බඳවාගෙන තිබෙනවා. තවත් 222ක් බඳවාගනිමින් පවතිනවා. තවත් 924 කට තනතුරු අනුමත කරගෙන තියනවා. නමුත් මේක කලින් පියවර ගත යුතුව තිබුණා.
රජයේ සේවයට එන පිරිස අඩු වෙලා තිබෙනවා. විනිසුරුවරුන් බඳවා ගැනීමේදීත්  50 ක් අවශ්‍ය තැනට 32යි ආවේ. වෘත්තියක ප්‍රශ්ණ විසදීමට නම් පරිනත, සුදුසුකම් සහිත පළපුරුද්දක් සහිත පිරිසක් සිටිය යුතුයි. නමුත් විශ්‍රාම යන වයස 60ක් උනත් තොරාගත් වෘත්තීන්වල විශ්‍රාම වයස වැඩි කළයුතු යැයි බොහෝ ඉල්ලීම් ප්‍රමාණයක් ඇවිත් තිබෙනවා. එබැවින් වැදගත් සමීක්ෂණයක් පසුව රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතුයි.''


මාධ්‍ය ඒකකය - අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න