Image

SLS සහතිකය නැති ටින් මාළු විකුණූ සුපිරි වෙළෙඳසැල් සමාගමට දඩ!

 SLS සහතිකය නැති ටින් මාළු විකුණූ සුපිරි වෙළෙඳසැල් සමාගමට දඩ!

අනිවාර්ය SLS 591 ප්‍රමිති සහතික ලාංඡනය නොමැති ටින් මාළු අලෙවිය සඳහා ප්‍රදර්ශනය කිරීම, ගබඩා කිරීම, නිෂ්පාදනය කිරීම සහ බෙදාහැරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පවරන ලද නඩුවකදී මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් විත්තිකරුවන් පස් දෙනෙකුට රුපියල් 110,000ක සමස්ත දඩ මුදලක් නියම කර තිබේ.

මෙම නඩුවේදී Keells සුපිරි වෙළෙඳසැල් පවත්වාගෙන යන Jaykey Marketing Services (Pvt) Limited සමාගමට සහ එහි නිලධාරීන් දෙදෙනෙකුට රුපියල් 90,000ක දඩ මුදලක්ද, ටින් මාළු නිෂ්පාදන සමාගම වන ABEY MARINE (Pvt) Ltd සහ එහි කළමනාකාර අධ්‍යක්ෂවරයාට රුපියල් 20,000ක දඩ මුදලක්ද නියම කර ඇත.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් 2026 අගෝස්තු 11 දින කොළඹ 03, කුමාරතුංග මුනිදාස මාවතේ අංක 32 දරන ස්ථානයේ පිහිටි Keells Thurstan සුපිරි වෙළෙඳසැලේදී මෙම නඩුවට අදාළ වැටලීම සිදුකර තිබේ.

එහිදී, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනිවාර්ය SLS 591 ප්‍රමිති සහතික ලාංඡනය නොමැති ග්‍රෑම් 185ක ටින් මාළු ඇසුරුම් 87ක් විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන ඇත.එම තොගයට Sunflower Oil අඩංගු ටින් මාළු ඇසුරුම් 64ක් සහ Olive Oil අඩංගු ටින් මාළු ඇසුරුම් 23ක් ඇතුළත් වී තිබේ.

සොයාගත් ටින් මාළු ඇසුරුම් 87 අතරින් ඇසුරුම් 32ක් අලෙවිය සඳහා ප්‍රදර්ශනය කර තිබූ අතර, ඉතිරි ඇසුරුම් 55 ගබඩා කර තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඒ අනුව විමර්ශනවලින් අනතුරුව, Jaykey Marketing Services (Pvt) Limited සමාගම, එහි වගකිවයුතු නිලධාරීන් දෙදෙනෙකු, නිෂ්පාදන සමාගම වන ABEY MARINE (Pvt) Ltd සහ එහි කළමනාකාර අධ්‍යක්ෂවරයාට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නීතිමය පියවර ගෙන තිබූ අතර, මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නඩුවේ විත්තිකරුවන් පස් දෙනාට නියම කළ සමස්ත දඩ මුදල රුපියල් 110,000කි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න