රටවල් 163ක් එක්වන ගෝලීය දැනුවත් කිරීමේ වැඩසටහනට ශ්‍රී ලංකාවත් එක්වෙයි.
දියවැඩියාව පිළිබඳ ලෝක අවධානය යොමු කෙරෙන ලෝක දියවැඩියා දිනය ඊයේ දිනට යෙදී තිබිණ. ඒ නිමිත්තෙන් කොළඹ නෙළුම් කුළුණ නිල් වර්ණයෙන් ආලෝකමත් කිරීමේ විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකා දියවැඩියා සංගමය විසින් සංවිධානය කර තිබූ අතර, එය සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණිගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවැත්විණි.
ජාත්‍යන්තර දියවැඩියා සම්මේලනයේ ගෝලීය වැඩසටහනට සමගාමීව රටවල් 163ක සුවිශේෂී ස්ථාන නිල් ආලෝකයෙන් ආලෝකමත් කිරීමට කටයුතු යොදා තිබේ. මෙම සංකේතාත්මක ක්‍රියාව තුළින් දියවැඩියාව පිළිබඳ සමාජ අවධානය ඉහළ නැංවීම, රෝගය කල්තියා හඳුනාගැනීමේ වැදගත්කම අවධාරණය කිරීම සහ එය වැළැක්වීම හා පාලනය කිරීම සඳහා ජනතාව දිරිගැන්වීම අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලංකාවේ සුවිශේෂී සංකේතයක් වන කොළඹ නෙළුම් කුළුණ මෙම ජාත්‍යන්තර වැඩසටහනට එක්වීම හුදෙක් ආලෝකමත් කිරීමේ ක්‍රියාවකට සීමා නොවේ. එය දියවැඩියාවෙන් ඇතිවිය හැකි සෞඛ්‍යමය බලපෑම් පිළිබඳ සමාජය දැනුවත් කිරීමටත්, පුද්ගල සෞඛ්‍යය පිළිබඳ වගකීමෙන් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාව සිහිපත් කිරීමටත් යොමු කෙරෙන ප්‍රබල සමාජ පණිවිඩයකි.
මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි අවධාරණය කළේ, දියවැඩියාව යනු පුද්ගලයකුගේ ජීවිතයේ සෑම අංශයකටම බලපෑම් කළ හැකි බරපතළ බෝ නොවන රෝග තත්ත්වයක් වන අතර, එය කල්තියා හඳුනාගෙන නිසි වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර මත පාලනය කිරීම අත්‍යවශ්‍ය බවයි. බොහෝ අවස්ථාවලදී රෝගයේ මුල් අවධියේදී පැහැදිලි රෝග ලක්ෂණ නොපෙන්වන බැවින්, ඒ පිළිබඳ නොදැනුවත්කම හේතුවෙන් බරපතළ සංකූලතා ඇතිවීමේ අවදානමක් පවතින බව ද ඔහු පෙන්වා දුන්නේය.
දියවැඩියාව නිසි පරිදි පාලනය නොකිරීම හේතුවෙන් හෘද රෝග, ආඝාතය, වකුගඩු අකර්මණ්‍ය වීම, ඇස් පෙනීම දුර්වල වීම සහ ස්නායු පද්ධතියට හානි සිදුවීම ඇතුළු බරපතළ සෞඛ්‍ය සංකූලතා ඇතිවිය හැකි බවත්, එවැනි තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා කල්තියා රෝගය හඳුනාගැනීම, නියමිත සෞඛ්‍ය පරීක්ෂණවලට යොමුවීම සහ අඛණ්ඩව වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.
එමෙන්ම සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් පවත්වා ගැනීම, දෛනික ශාරීරික ක්‍රියාකාරකම්වල නිරත වීම, නිසි ශරීර බර පවත්වා ගැනීම සහ දුම්කොළ භාවිතයෙන් වැළකීම තුළින් දෙවන වර්ගයේ දියවැඩියාව ඇතිවීමේ අවදානම අවම කරගැනීමට හෝ රෝගය ඇතිවීම ප්‍රමාද කිරීමට හැකි බව පෙන්වා දුන් ඒ මහතා, ඒ සඳහා පුද්ගල මට්ටමින් පමණක් නොව සමස්ත සමාජය තුළම සෞඛ්‍ය පිළිබඳ වගකීම් සහගත ආකල්පයක් ගොඩනැඟීමේ වැදගත්කම ද අවධාරණය කළේය.
ශ්‍රී ලංකාව තුළ ද දියවැඩියාව සම්බන්ධයෙන් පවතින තත්ත්වය විශේෂ අවධානයට ලක්විය යුතුය. ජාත්‍යන්තර දියවැඩියා සම්මේලනයේ 2024 දත්ත අනුව වයස අවුරුදු 20ත් 79ත් අතර ශ්‍රී ලාංකික වැඩිහිටියන්ගෙන් සැලකිය යුතු පිරිසක් මෙම රෝගයෙන් පෙළෙති. එබැවින් අවදානම් සාධක අවම කරගැනීම, සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට හුරු වීම සහ නියමිත කාලසීමාවන්හිදී සෞඛ්‍ය පරීක්ෂණ සිදුකර ගැනීම කෙරෙහි ජනතාව වැඩි අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය වේ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා දියවැඩියා සංගමයේ සභාපති වෛද්‍ය මනිල්ක සුමනතිලක, උප සභාපති වෛද්‍ය මහේන් අම්බානි, උප සභාපති වෛද්‍ය සරත් ගාමිණී ද සිල්වා, ලේකම් වෛද්‍ය මහේන් විජේසූරිය සහ උප සභාපති වෛද්‍ය ධන්යා විජේසූරිය, කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ සමාගමේ සභාපති ශිරන්ත පීරිස්, ජාතික දියවැඩියා මධ්‍යස්ථානයේ නියෝජ්‍ය වෛද්‍ය අධ්යක්ෂ වෛද්‍ය තමරා විජේරත්න යන ඇතුලුව විදේශීය නියෝජිතයින්, විෂයට අදාල විශේෂඥ වෛද්‍යවරුන් මෙන්ම සංගමයේ නියෝජිතයන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
මාධ්‍ය අංශය
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
