Image

මෙවර ගෘහස්ථ විදුලි බිල 13.5%ක් වැඩි කරලා - පාඨලී චම්පික රණවක  

මෙවර ගෘහස්ථ විදුලි බිල 13.5%ක් වැඩි කරලා - පාඨලී චම්පික රණවක   

මෙවර විදුලි වැඩිවීම 10.5% කට සීමා කර තිබුණ ද, ගෘහස්ථ පාරිභෝගිකයන්ට විදුලි බිල 13.5%ක් දක්වා වැඩිකර ඇති බවත්, කර්මාන්තවලට විදුලි බිල 8.7% කින් වැඩිකර ඇති බවත් එක්සත් ජන රජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (01)කොළඹ නිපොන් හෝටලයේ පැවති ඒකාබද්ධ විපක්ෂය  සංවිධාන කළ  මාධ්‍ය හමුවේ දී ය.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක...

කර්මාන්ත ක්ෂේත්‍රයට දරුණු අර්බුදයක් ඇතිවීමට නියමිතයි

''එළඹෙන අවුරුදු සමය අපේ මහජනතාවට නම් එච්චර සුබවාදී නැහැ. අද සිට විදුලි ගාස්තුව වැඩි කිරීමට අනුර කුමාර දිසානායක ආණ්ඩුව තීරණය කර තිබෙනවා. ආණ්ඩුව 13.5ක විදුලි වැඩිවීමක් ඉල්ලා තිබුණා. ඒ වගේම ලංකා විදුලි බල මණ්ඩලය නිල වශයෙන් විසුරුවා දැමීමේ නායකත්වය ගත්තෙත් අනුර කුමාර ජනාධිපතිතුමා. ඒ සමාගම් වලින් ඉවත් වීමට දෙදහසකට ආසන්න පිරිසක් එකඟ වී තිබෙනවා. මේ අයගේ විශ්‍රාම ගැන්වීමේ යෝජනාවලියක් ඉදිරිපත් වී තිබුණා. එය මහජන උපයෝගීතා කොමිසම සැලකිල්ලට ගෙන තිබෙනවා.එය මෙවර විදුලි ගාස්තු වැඩි වීමට එකතු කර නැහැ. ඒ නිසා මෙවර විදුලි වැඩිවීම 10.5කට සීමා කර තිබෙනවා. නමුත් ගෘහස්ථ පාරිභෝගිකයන්ට විදුලි බිල 13.5ක් දක්වා වැඩිකර තිබෙනවා. ඒ කාරණය කවුරුත් දන්නවා. කර්මාන්තවලට විදුලි බිල 8.7 කින් වැඩිකර තිබෙනවා. සියලුම බිල් වැඩිවීම තුළ කර්මාන්ත ක්ෂේත්‍රයට දරුණු අර්බුදයක් ඇතිවීමට නියමිතයි. මේ විදුලි බිල වැඩි පිරීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසමට විදුලි බල මණ්ඩලය අවශ්‍ය තොරතුරු ලබා දුන්නේ පෙබරවාරි මාසයේ.

ආණ්ඩුව නියඟයක් මවන්න හදනවා

ගල් අඟුරු හොරකමේ බරත් මේ විදුලි බිල වැඩි කිරීමේ දී මහජනයා මත පටවා තිබෙනවා. විශාල නියඟයක් ළඟ එන බවත් ජුනි- ජුලි වන විට එය උග්‍ර වන බවත් ආණ්ඩුවේ මාධ්‍ය ඒකක මතයක් හදමින් සිටිනවා. මොකද ගල් අඟුරු සොරකම නිසා ලයිට් කැපෙන්න නියමිත යි. ඒ ලයිට් කැපීම වහන්න දැන් නියඟය කරළියට ගේන්න උත්සාහ කරනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා තිබෙන්නේ වැසි තත්ත්වය සාමාන්‍ය බවයි. 2025 වසරේ තිබුණාට සමාන කාලගුණ තත්ත්වයක් 2026 වසරේදී පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ මහජන උපයෝගීතා කොමිසම පවසනවා. ඒ අනුව අනුර කුමාර දිසානායකගේ මාධ්‍ය බලකායේ ප්‍රකාශයකට මහ ජන උපයෝගීතා කොමිසම හොඳ උත්තරයක් ලබා දී තිබෙනවා.

අගෝස්තු මාසයේ දී විදුලි කප්පාදුවක්...?

2025 වසරේ අපි එපා කියද්දි අනුර දිසානායක බලෙන් විදුලි ගාස්තු වැඩි කෙරෙව්වා. එයින් මිලියන හයදහස් ගණනක අයථා ලාභයක් ලබාගෙන තිබෙනවා. විදුලි බල මණ්ඩලය කොම්පැණි හතරකට කැඩූ පසු ජනන සමාගම පවසා තිබෙන්නේ බාල ගල් අඟුරු සිද්ධිය නිසා වැඩියෙන් ඩීසල් පාවිච්චි කරන්නට සිදු වීමෙන් පෙබරවාරියේ දුන් පුරෝකථනය හරියන්නේ නැති බවයි. නව පුරෝකථනයක් ලබාදිය යුතු බවත් ඔවුන්  සඳහන් කර තිබෙනවා. ඒ කියන්නේ නැවත විදුලි බිල වැඩි කිරීමට අවශ්‍ය පසුබිම අනුර දිසානායක ජනාධිපතිවරයා සකසමින් සිටිනවා. එමෙන්ම බාල ගල් අඟුරු සිද්ධිය නිසා අගෝස්තු මාසයේ දී විදුලි කප්පාදුවක් කරන්නට සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කර තිබෙනවා. මේකෙ වගකීම ගන්නෙ කවුද? ගල් අඟුරු ටොන් එකක් ඩොලර් 143 ක අධික මුදලකට  මිලදී ගෙන තියෙනවා. ගල් අඟුරු මිලදී ගැනීමෙන් සිදුවන පාඩුව රුපියල් බිලියන 10 කට වඩා වැඩියි. අපේක්ෂිත නැව්ගත කිරීම් මෙම මස අගදී පැමිණියත් විදුලි කප්පාදුව වළක්වන්නට හැකියාවක් නැහැ.

විදුලි ගාස්තු ඉහළ නැංවීමේ සහ විදුලි කප්පාදුවේ සැබෑ හේතුව වසන් කිරීම සඳහා ජල විදුලිය සඳහා භාවිතා කරන ජලාශවල ජල මට්ටම මුළු ධාරිතාවෙන් සියයට 50 ක මට්ටමක තබා ගෙන සිටිනවා. ඉන්ධන සඳහා බදු අඩු කිරීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කටයුතු කළා. පොදු ප්‍රවාහනය නොමිලේ සැපයීමට ඕස්ට්‍රේලියාව කටයුතු කළා. ශ්‍රී ලංකා රජය ද ජනතාව වෙනුවෙන් එවන් සහන ලබා දිය යුතුයි.''

මෙහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසුවේ සමහර ප්‍රදේශවල නිවේදනය නොකළ විදුලි බිඳවැටීම් සහ ජල කප්පාදුව දැනටමත් ක්‍රියාත්මක බවයි.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මෙහි දී සඳහන් කළේ විදුලි ගාස්තු වැඩි කිරීම, ප්‍රවාහන ගාස්තු වැඩි කිරීම සහ ඉන්ධන සහ ආහාර මිල ඉහළ යාම හේතුවෙන් ජනතාවට සෑම පැත්තකින්ම පහර වැදී ඇති බවයි.

මෙම අවස්ථාවට: හිටපු අමාත්‍යවරුන් වන එක්සත් ජන රජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක හිටපු පා.ම. අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහ සර්ව ජන බලය වෙනුවෙන් රජිත හපුආරච්චි යන අය අදහස් දැක්වූ අතර හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු අමාත්‍යවරුන් වන එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන, පොදුජන එක්සත් පෙරමුණේ ලේකම් ලසන්ත අලගියවන්න, අජිත් මාන්නප්පෙරුම, හිටපු පා.ම. සුදත් මංජුල, හිටපු පා.ම. සමන් රත්නප්‍රිය, නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර යන අය සහ නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ඇතුළු මුස්ලිම් පක්ෂ නියෝජනය කරමින් දේශපාලන නියෝජිතයින් මේ අවස්ථාවට සහභාගී වූහ. 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න