කාන්තාවන් පිළිබඳ කතිකාව එක් දිනකට සීමා කළ නොහැකි ය - ජනපති

කාන්තාවන් පිළිබඳ කතිකාව එක් දිනකට සීමා කළ නොහැකි ය - ජනපති

සියවසකට අධික කාලයක් මුළුල්ලේ ලොව පුරා සෑම වසරක ම මාර්තු 08 වනදා ජාත්‍යන්තර කාන්තා දිනය සැමරේ.

ශ්‍රී ලංකාව තුළ ආර්ථික, දේශපාලන, සමාජයීය සහ සංස්කෘතික වශයෙන් කාන්තාව ගේ භූමිකාව සුවිශේෂී ය. එකී සියලු ක්ෂේත්‍රයන්හි විශාල භාරයක් දරන කාන්තාව ගේ එම භූමිකාව අගයමින් කාන්තා අයිතිවාසිකම්, නිදහස සහ සුරක්ෂාව පිළිබඳව මෙදින විශේෂයෙන් සිහිපත් කළ ද, එය එක් දිනකට සීමා කළ නොහැකි බව අපි විශ්වාස කරමු.

මෙරට ජනගහණයෙන් 52%ක් නියෝජනය කරන කාන්තා පරපුර අද රටේ ආර්ථිකය තුළ විශාල පංගුවක් නියෝජනය කරන බව නොරහසකි. වැටුප් නොලබා ගෘහණියක ලෙස ඇය ඉටු කරන භූමිකාවට අමතරව, ඇඟලුම් කර්මාන්තය, වතු කර්මාන්තය, විදේශ රැකියා ක්ෂේත්‍රය තුළත්, සෞඛ්‍ය, අධ්‍යාපන සහ සේවා අංශවලත් කාන්තාවෝ විශාල දායකත්වයක් ලබා දෙති. පසුගිය 2025 වසරේ අප රටක් ලෙස ලැබූ බොහෝ ආර්ථික ජයග්‍රහණවලට කාන්තා පරපුර ලබා දුන් එම ශක්තිය ඉවහල් වූ බව ද මෙහිදී කෘතවේදීව සිහිපත් කළ යුතු ය.

සමාජ සාධාරණත්වය උදෙසා ස්ත්‍රී–පුරුෂ සමාජභාවී සමානාත්මතාව තහවුරු කරමින්, ආර්ථික ක්‍රියාවලියට කාන්තාවන් තවදුරටත් සක්‍රීයව සහ ඵලදායීව සහභාගී කර ගැනීමේ සැලසුම් අපි මේ වන විටත් ක්‍රියාත්මක කරමින් සිටිමු. සාධාරණ සමාජයක්, නිවහල් රටක් සහ නිදහස් ස්ත්‍රියක් යන අභිලාෂය සාක්ෂාත් කරගනිමින්, නිවසේ දී, ප්‍රවාහනයේ දී, ප්‍රජාව තුළ, වැඩබිමේ දී සහ දේශපාලන වේදිකාවේ දී කාන්තාවට සිදුවන සියලු ම ආකාරයේ හිංසනවලට සහ වෙනස් ලෙස සැලකීම්වලට එරෙහිව ක්‍රියා කිරීමටත්, කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කර ප්‍රවර්ධනය කිරීමටත් අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීමට රජයක් ලෙස අපි ප්‍රමුඛත්වය ලබා දී ඇත්තෙමු.

පාර්ලිමේන්තු ඉතිහාසය වෙනස් කරමින්, වරකදී වැඩිම කාන්තා මන්ත්‍රීවරියන් සංඛ්‍යාව මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සිටියි. එසේම ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මලෛගම් ජනතාව නියෝජනය කරන කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක තේරී පත්වීම ද සුවිශේෂී ඉතිහාසගත සිදුවීමකි. මේ අයුරින් රට ආර්ථික, දේශපාලන සහ සමාජීය වශයෙන් නව පරිවර්තනයක් කරා ගෙන යෑමට අප ආරම්භ කර ඇති වැඩපිළිවෙළට සමාන ලෙස උර දෙන, ශක්තිමත් සහ ගෞරවනීය කාන්තා පරපුරක් බිහිකිරීම අප ගේ වගකීමත් අධිෂ්ඨානයත් බව මෙහිලා අවධාරණය කරමු. එමෙන්ම ඩිජිටල් සහ හරිත ආර්ථිකයක් තුළ කාන්තා ව්‍යවසායකත්වය පුළුල් කර ඉදිරියේ දී රට තුළ ඇතිවන ආර්ථික පරිවර්තනයට අනුගත විය හැකි කාන්තා ව්‍යවසායකයින් බිහි කිරීම අප රජයේ අරමුණයි.

එවන් පසුබිමක් තුළ ලාංකීය කාන්තාවන් ගේ අභිමානය සහ ශක්තිය ලොවට පෙන්වමින් ‘පොහොසත් රටක අබිමන - ඇය වේ දැයක පෙර මග’ තේමාව යටතේ මෙවර කාන්තා දිනය සංවිධානය කිරීම මම බෙහෙවින් අගයමි.

සියලුම අහිතකර උවදුරුවලින් සමාජයත්, රටත් මුදා ගනිමින් ආචාරධාර්මික සහ සහකම්පනයෙන් යුත් අනාගත පරපුරක් සහ දියුණු රටක් ගොඩනැගීමට තිර අදිටනින් යුතුව අප යන ගමනේ පෙරගමන්කරුවන් ලෙස ශක්තිමත්ව අත්වැල් බැඳ ගන්නා ලෙස සමස්ත කාන්තා පරපුරට ආරාධනා කරමින් අර්ථවත් කාන්තා දින සැමරුමකට සුබපැතුම් එක් කරමි.

අනුර කුමාර දිසානායක

ජනාධිපති

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

2026 මාර්තු 08

 

women1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න