අද රටේ දේශපාලනය තීව්‍ර පැහැදිලි බෙදීමකට ගමන් කරමින් තිබෙන බවත්, ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙකක් ජනතාව ඉදිරිපිට පැහැදිලිව චිත්‍රණය වී ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ නොවැම්බර් 13 වන දින කොළඹ විහාරමහාදේවි එළිමහන් රංගපීඨයේදී පැවති 37 වන ඉල්මහ විරු සමරු උළෙල අමතමිනි.
ඒ අනුව අද ලංකාවේ; පැරණි අගතීන්ගෙන් සමන්විත, විනාශකාරීත්වය කරා රට කැඳවාගෙන ගිය විනාශකාරී දේශපාලන කඳවුර සහ රට වෙනස් කිරීමේ නව දේශපාලන කඳවුර ලෙස කඳවුරු දෙකක් නිර්මාණය වී තිබෙන බව ජනාධිපතිවරයා පැවසීය.
"අපේ රටේ දේශපාලනය ලංකාවේ දීර්ඝ කාලයකට පසුව තීව්‍ර බෙදීමක් ඇතිවෙලා තිබෙනවා. ආණ්ඩුව සහ විපක්ෂය කියන කඳවුරු දෙකට තමන්ගේම අනන්‍ය වූ ගති ලක්ෂණ තියෙනවා. තීව්‍ර බෙදීම තියෙන්නේ දැන් වාඩි වෙන පැත්තෙන් විතරක් නෙවෙයි. මේ ව්‍යාපාරවල තියෙන ගති ලක්ෂණ වලින් මේ බෙදීම තවත් තීව්‍ර කරනවා.
ඔවුන් දූෂණයේ නිරත වී තිබෙනවා, ඒවාගෙන් ආරක්ෂා වෙන්න උත්සාහ කරනවා. අපි දූෂණය නතර කරලා තිබෙනවා, දූෂිතයන්ට දඬුවම් දෙන්න උත්සාහ කරනවා. බෙදීම තවත් තීව්‍ර වෙනවා.
ඔවුන් අපරාධ කර තිබෙනවා, මේ රාජ්‍යය අපරාධ රාජ්‍යයක් බවට පත්වෙලා තිබුණා. අපි අපරාධ රාජ්‍යය වෙනස් කරමින් තිබෙනවා. ඒගොල්ලෝ අපරාධ රාජ්‍යය ගොඩනඟපු අය, බෙදීම තවත් තීව්‍ර වෙනවා.
ඒගොල්ලෝ පවුල් කේන්ද්‍ර කරගත්තු දූෂිත පාලනයන් හදනවා. අපි මහජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට ගරු කරමින් පාලනයන් හදනවා. බෙදීම තවත් තීව්‍ර වෙනවා.
ඒගොල්ලෝ ජාතිවාදය, ආගමික අන්තවාදය උපයෝගී කරගන්නවා තමන්ගේ දේශපාලනය කරනවා. අපි ජාතික සමගිය, පුරවැසියන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටිනවා. බෙදීම තීව්‍ර වෙනවා.
ඒගොල්ලෝ යන්ත්‍ර, මන්ත්‍ර, කටු ගහනවා. අපි නව තාක්ෂණය, විද්‍යාව, දැනුම මත මේ රට ගොඩනැඟීමට උත්සාහ කරනවා. බෙදීම තීව්‍ර වෙනවා.
ඒ නිසා අද ලංකාවේ ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙකක් ජනතාව ඉදිරිපිට පැහැදිලිව චිත්‍රණය කර තියෙනවා. පැරණි අගතීන්ගෙන් සමන්විත, විනාශකාරීත්වය කරා අපේ රට කැඳවාගෙන ගියපු විනාශකාරී දේශපාලන කඳවුර සහ මේ රට වෙනස් කිරීමේ නව දේශපාලන කඳවුර. මේක තමයි කඳවුරු දෙක."
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ අද වන විට දුර්වලභාවයට පත්ව ඇති මෙම කණ්ඩායම දැක්මක්, ප්‍රතිපත්තියක්, ඉලක්කයක්, අරමුණක් නොමැතිව සැලකිය යුතු මට්ටමින් අන්දමන්ද වී ඇති බවයි.
කෙසේ වෙතත්, දැක්මක් සහිත, විනයානුකූල, සංවිධානාත්මක දේශපාලනයක් රටට හිතකර නමුත් දැක්මක්, අරමුණක්, ඉලක්කයක් නොමැති දේශපාලන සටන් රටට අහිතකර බවත් ඒවා මගින් අරාජිකත්වයක් නිර්මාණය කරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
“දැන් මේ දවස්වල තැන තැන පැන නගින සටන දැක්කාම හිතෙන්නේ හෙට මොන පිස්සුවක් නටයිද දන්නෑ කියලා.. හිතෙන් නැද්ද? එක වෙලාවක කියනවා මාරාන්තික උපවාසයක් කරනවා කියලා. තව වෙලාවක පොල්ලක් අරන් කරකවනවා. මේ නිර්මාණය වන අරාජිකත්වය තමයි රටට අහිතකර”
එබැවින් ආණ්ඩුවේ වගකීම එවැනි අරාජිකත්වයක් ඇතිවීම වැළැක්වීම බවද ජනාධිපති අනුර කුමාර වැඩිදුරටත් අවධාරණය කළේය.
"අරාජිකත්වයන් මතුවීම වැළැක්වීම තමයි අද අපේ වගකීම. මොකද දුර්වලභාවයට පත්වෙලා තිබෙන ආණ්ඩු විරෝධීන් ඒ දුර්වලභාවය විසින් අසරණභාවයට පත් කර තිබෙනවා. ඒ අසරණභාවය විසින් ආතතියට පත් කර තිබෙනවා. ආතතිය විසින් සංයමය බිඳ වට්ටවා තිබෙනවා.
සංයමය බිඳවැට්ටවීම විසින් නොමනා දේ කරන්න ඉඩ තිබෙනවා. මේක තමයි අද අපට එරෙහිව ගොඩනැගෙමින් තිබෙන කඳවුරේ ස්වභාවය. හැබැයි අපි දන්නවා එවැනි අරාජික දුර්වල සටන් ව්‍යාපාරවලට වඩා ඉතිහාසයේ ශක්තිමත් අත්දැකීම් සහිත අපේ ව්‍යාපාරය ඒ සියල්ල පරාජය කොට මේ ආණ්ඩුවත් මේ පාලනයත් අපේ දෘෂ්ටිවාදය ආරක්ෂා කරමින් ඉදිරියට යන බවට අපේ දැඩි විශ්වාසයක් තිබෙනවා."
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
