මේ රජය ගෙන ආ ගල්අඟුරු බාල බවට මහජන උපයෝගීතා කොමිසම අද සාක්ෂි සාධක සහිතව පෙන්වා දී අවසන් - විපක්ෂ නායක

මේ රජය ගෙන ආ ගල්අඟුරු බාල බවට මහජන උපයෝගීතා කොමිසම අද සාක්ෂි සාධක සහිතව පෙන්වා දී අවසන් - විපක්ෂ නායක

මහජන උපයෝගීතා කොමිෂම ඉදිරිපත් කරන ලද වාර්තාවලට අනුව මෙවර ගෙන්වා ඇති ගල්අඟුරු බාල බවට තහවුරු වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

ඔහු අද (04) මේ අදහස් පළ කළේ දකුණු අප්‍රිකාවෙන් ගෙන ආ ගල්අඟුරු සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කරන ලද වාර්තාව පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

දකුණු අප්‍රිකාවේ ගල්අඟුරු බාලයි

''අප රටට දකුණු අප්‍රිකාවෙන් ගෙන්වන ලද ගල්අඟුරු බාල බවට දිගින් දිගට ම රජයටත් ජනාධිපතිවරයාටත් විෂය භාර අමාත්‍යවරයාට පවා සමගි ජන බලවේගය විසින් පෙන්වා දුන්නා. මේ අවස්ථාවේ එම කරුණු තවදුරටත් තහවුරු කරමින් මහජන උපයෝගීතා කොමිෂම ඉදිරිපත් කරන ලද වාර්තාවෙන් මේ ගෙන් වූ ගල්අඟුරු බාල බවට තහවුරු වෙනවා. මේ වාර්තාව රුසියාවෙන් ගෙන ආ ගල්අඟුරු සහ දකුණු අප්‍රිකාවෙන් ගෙන්වන ලද ගල් අගුරු සංසදනය කර පෙන්වා දී ඇති දත්ත අනුව පෙනී යන්නේ දකුණු අප්‍රිකාවෙන් ගෙන්වන ලද ගල්අඟුරු බාල ගල්අඟුරු බවයි. වාර්තාව අනුව බලාගාරයට සම්පූර්ණ ජනන ධාරිතාව නිපදවීමට මේ දකුණු අප්‍රිකානු ගල් අගුරු අපොහොසත් වී ඇති බවට පෙනී යනවා. මෙගාවොට් 300ක් නිපදවිය යුතු වුවත් කුමන අවස්ථාවේ දී හෝ දකුණු අප්‍රිකාවෙන් ගෙන්වන ලද ගල්අඟුරු නැව්වලින් නිපදවිය නොහැකි වී තිබෙනවා. ඊට අමතරව සාමාන්‍ය ගල්අඟුරු දහන අනුපාතය දෙස බලන විට රුසියානු ගල්අඟුරුවලට වඩා ඉහළ සාමාන්‍ය ගල් අගුරු දහන අනුපාතයක් මෙහි වාර්තා වෙනවා. ඉන් ද මේ ගල්අඟුරු බාල බවට ඔප්පු වෙනවා.

ලක්විජය වාර්තාව වඩාත් නිවැරැදි යි

නිශ්චිත ගල්අඟුරු දහනය දෙස බලන විට පවා මේ වාර්තාවට අනුව රුසියානු ගල් අගුරුවලට වඩා ඉහළ අගයක් දකුණු අප්‍රිකාවේ බාල ගල්අඟුරු තුළ පෙනී යනවා. බලාගාර‌යේ කාර්යසාධන දත්ත අනුව ද පෙනී යන්නේ අවශ්‍යව ඇත්තේ 5900 සිට 6150 හෝ 6200ක් ලෙස GCE අගය ලබා ගැනීමට පවා නොහැකි වී තිබෙනවා. මෙහි විශේෂයෙන් සඳහන් ආකාරයට ලෝර්ඩ්පෝර්ට් සහ ඩිස්පැච් රිපෝර්ට්වලට වඩා වඩාත් නිවැරදි වාර්තාව ලෙස ලක්විජය වාර්තාව දැක්විය හැකි යි.

ඇමතිවරයා පිළි නොගත්තාට සත්‍ය හෙළි වී අවසන්

අමාත්‍යාංශය හෝ විදුලි බල මණ්ඩලය හෝ ඇමතිවරයා පවා ලක් විජය බලාගාර‌යේ වාර්තා පිළි නොගත්තත් මහජන උපයෝගීතා කොමිසම මේ වාර්තා පිළිගෙන දකුණු අප්‍රිකානු ගල්අඟුරු බාල බවට විධිමත් ලෙස පෙන්වා දී තිබෙනවා. පාවෙන අළු මුදා හැරීමේ දත්ත දෙස බැලීමේ දී රුසියානු ගල්අඟුරුවල කිලෝවොට් පැයකට අළු කිලෝග්‍රෑම් 0.46ක් වුවත් දකුණු අප්‍රිකාවෙන් ගෙන්වූ ගල්අඟුරුවල අළු ප්‍රමාණය කිලෝවොට් පැයකට කිලෝග්‍රෑම් 0.93ක්. එය102%ක වැඩිවීමක්. මේ තුළින් ද පෙනෙන ආකාරයට පාවෙන අළු මුදා හැරීමේ දත්ත පිළිබඳ විශ්ලේණය කරන විට දකුණු අප්‍රිකානු ගල් අගුරු බාල බවට පෙනී යනවා.

රටට සිදු වූ පාඩුව රු. මි. 8497ක්

මහජන උපයෝගීතා කොමිසමේ වාර්තාව අනුව නැව් නවයෙන් සිදු වූ පාඩුව මිලියන 8497ක්. ඊට අමතරව ඉහළ අළු අන්තර්ගතයක් පවතිනවා. හුමාල උෂ්ණත්ව සීමාව අභිබවා යෑම, බාල ගල්අඟුරු නිසා උපකරණ අධික ලෙස ගෙවීම යාම, බොයිලේරුව ප්‍රමාණය ඉක්මවා රත්වීම නිසා උපකරණ හානි විය හැකි බවට සඳහන්. මේ කරුණු දෙස බලන විට දකුණු අප්‍රිකාවෙන් වත්මන් රජය ගෙන්වන ලද ගල් අගුරු බාල යි. මේ වන විට රජය හදිසි මිලදී ගැනීමේ ක්‍රියාවලියක ආරම්භයකට ගොස් තිබීම තුළ මෙය තවදුරටත් පැහැදිලි වෙනවා. රජය ටොන් 60000ක නැව් 5ක් ගෙන්වීමට සූදානම්. අප රටට වසරකට නැව් 36ක් අවශ්‍යව තිබිය දී තවත් නැව් 5ක් හදිසි මිලදී ගැනීමකට යන්නේ ටෙන්ඩර් පටිපාටිය තුළ අප රටට ගෙන්වන ගල්අඟුරුවල ප්‍රමිතියේ අඩුවක් පවතින නිසා.

රජය දැන් ජනතාවට උත්තර සැපයිය යුතුයි

සමගි ජන බලවේගය මේ සම්බන්ධයෙන් දිගින් දිගටම පෙන්වා දෙන විට රජය එය ප්‍රතික්ෂේප කළා. ඊට අමතරව ඇමතිවරු මේ ගල්අඟුරු බාල වුවත් දූෂණයක් වුණේ නැ යැයි කිව්වත් මහජන උපයෝගීතා කොමිසම කළ දත්ත විශ්ලේෂණය තුළින් පෙනී යන්නේ වත්මන් රජය බාල ගල් අගුරු ගෙන ඒම බැවින් මේ සම්බන්ධයෙන් රජය උත්තර දිය යුතු යි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න