ජනතාවාදී සෞඛ්‍ය සේවාවක් සඳහා නව සෞඛ්‍ය සන්ධානයක අවශ්‍යතාව පැහැදිලි කරමින් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කාර කමිටුව නියෝජනය කරමින් සෞඛ්‍ය වෘත්තිවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති සහ රවි කුමුදේශ් විසින් නිවේදනයක් නිකුත් කර ඇත.
එම නිවේදනයේ සඳහන් වන පරිදි සෞඛ්‍ය සන්ධානයක අවශ්‍යතාවක් පවතින්නේ ඇයි ද සහ ඊට යෙදිය යුතු පිළියම් මොනවා ද යන්න ප්‍රශ්න 15ක් යටතේ විමසා ඇති අතර ඊට අදාළ පිළිතුරු ද සපයා ඇත.
මතු පළ වන්නේ එම ප්‍රශ්නාවලිය සහ ඊට අදාළ පිළිතුරු ය.
Q1) “නව සෞඛ්‍ය සන්ධානයක්” කියන්නේ මොකක්ද?
A: අද සෞඛ්‍ය සේවාව තුළ අලුතින් නිර්මාණය වී ඇති ගැටලු විසඳන්න තනි තනිව සටන් කිරීම ප්‍රමාණවත් නෑ. ඒ නිසා වෛද්‍ය, හෙද, පරිපූරක වෛද්‍ය, අතුරු වෛද්‍ය, ද්විතියික සේවා, රියදුරු, සාත්තු සේවක, සෞඛ්‍ය කාර්ය සහයක ඇතුළු සියලු කාර්ය මණ්ඩල එකම අරමුණක අරගෙන, නිදහස් සෞඛ්‍ය සේවාව රැක ගැනීම වෙණුවෙන් හා සෞඛ්‍ය කාර්‍යමණ්ඩකයේ අයිතීන් වෙණුවන් ඒකාබද්ධ පොදු අරමුණකින් වැඩ කිරීම තමයි මේ සන්ධානයේ මූලික අරමුණ.
Q2) සෞඛ්‍ය සේවාවේ “නව අර්බුද” කියන්නේ මොනවාද?
A: අයිතිවාසිකම් කප්පාදුව, වෘත්තීය සමිති මර්දනය, දීමනා කප්පාදුව, ප්‍රමාදය, ඖෂධ හා ශල්‍ය උපකරණ හිඟය, සේවාව වක්‍රකාරයෙන් පෞද්ගලිකරණයට ගෙන යාම, කාර්ය මණ්ඩල හිඟය, රෝගීන්ටත් සේවකයන්ටත් අනාරක්ෂිතභාවය, සහ නව නීති හරහා සේවකයාගේ ගෙල සිර කරන වගකීම් පද්ධති නිර්මාණය කිරීම.. මෙවැනි ගැටලු රැසක් එකවර මතු වෙලා තියෙනවා.
Q3) මේක “වෘත්තීය සමිති” ප්‍රශ්නයක් විතරද? මහජනතාව ගැන අමතක කරන්නේ ඇයි?
A: ඇත්තටම මේක මහජනතාවගේ ප්‍රශ්නයක්.
කාර්ය මණ්ඩල හිඟය, ඖෂධ හිඟය, උපකරණ හිඟය, වැඩ බර—ඒ හැම එකකම අවසාන ප්‍රතිඵලය රෝගියාටයි. රෝගියාට පෝලිම්, ප්‍රතිකාර ප්‍රමාද, ශල්‍යකර්ම කල් යාම, පිටතින් ගෙවලා බෙහෙත්/උපකරණ ගන්න වෙන එක, “නිදහස්” සේවාව “ගෙවලා ගන්න” සේවාවක් වෙලා තිබෙන එක. ඒ එකක්වත් අපේ පෞද්ගලික ප්‍රශ්න නෙවේ.
Q4) රජය මේ ගැන වගකීම භාරගන්නේ නැද්ද?
A: විසඳුම් දීම රජයේ වගකීමයි. නමුත් අද තියෙන්නේ සාකච්ඡා මඟ හැරීමක්. වෘත්තීය සමිති ඉල්ලීම්වලට ඇහුම්කන් දීමක්, එකඟතා ලියවිලි, සාකච්ඡා සටහන්, මේවා නොතිබීම තමයි ප්‍රශ්නය. පද්ධතියේ ගැටලු විසඳනවා වෙනුවට “නිහඬ කරවීම” ප්‍රවණතාවයක් පේනවා.
Q5) කාර්ය මණ්ඩල හිඟය ගැන ඔබලා කියන්නේ මොකක්ද?
A: සේවක සංඛ්‍යාව (Cadre) අවසන් වරට යාවත්කාලීන කරලා තියෙන්නේ වසර 10කට පමණ පෙර. අද සෞඛ්‍ය සේවාව පුළුල් වෙලා තිබුණත් සේවක ප්‍රමාණය එයට අනුව වැඩි කරලා නැහැ. මේ නිසා රෝගී සත්කාර සේවා කඩා වැටෙන්නත්, සේවකයන් දිගු සේවාමුර, තුන් හතර දෙනෙකුගේ වැඩ එක අයෙකු මත පැටවීම නිසා අධික අවදානමකට යන්නත් සිද්ධ වෙනවා. රෝගීන් උරණ වෙන්නේ පහසුකම් නොදෙන ආණ්ඩුව එක්ක නෙවේ. කාර්‍යමණ්ඩලයත් එක්ක.
Q6) උසස්වීම් ප්‍රමාදය ඇත්තටම රෝගියාට බලපානවද?
A: ඔව්. උසස්වීම් පත්වීම් වසර ගණනක් කල් දාද්දී පරිපාලන ව්‍යුහය දුර්වල වෙනවා. තීරණ ප්‍රමාද වෙනවා. වගකීම් බෙදාහැරීම අවුල් වෙනවා. එය සේවාවේ ගුණාත්මකභාවයට කෙලින්ම බලපානවා. රෝගීන්ට ශල්‍ය කර්ම වලට, සමහර පරීක්‍ෂණ වලට මාස ගණං පෝලිමේ ඉන්න වෙන්නේ ඒ නිසා. පොඩි වැඩක් කර ගන්නත් දින දෙක තුනක් රෝහලේ පැය ගණං රස්තියාදු වෙන්න සිදු වෙන්නේ ඒ නිසා.
Q7) ඖෂධ හා උපකරණ හිඟය ගැන ඔබලා තදින් කියනේ ඇයි?
A: රට තුළ ඖෂධ හිඟය බරපතළයි. ඖෂධ වර්ග 100කට අධික සංඛ්‍යාවක් නැති බවත්, බාල ඖෂධ ගැටලුව නිසා ඖෂධ වර්ග 13ක් පමණ තහනම් කළ බවත් දැනටමත් සමාජයට පැහැදිලියි.මෙහි වගකීම ගන්න ඕනේ රජයයි. ඒත් රෝගියා ඉදිරියේ අපහසුතාවට පත්වෙන්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය. හිඟයන්ගේ වගකීමත්, අපහාසත් සියල්ල සේවකයාගේ හිස මත දාන සැලසුම්සහගත ක්‍රමයක් යමින් සිටින බව අපට පේනවා.
Q8) “රෝගී අයිතිවාසිකම් පනතක්” නම් හොඳ දෙයක් නේද?
A: රෝගී අයිතිවාසිකම් ආරක්ෂා වීම අත්‍යවශ්‍යයි. නමුත් පනතක් හරහා රෝගී අයිතිය ගැන වගකීම සේවකයා මත පමණක් දාලා, පහසුකම්, ඖෂධ, උපකරණ, කාර්ය මණ්ඩල සැපයීම පිළිබඳ රාජ්‍ය වගකීම අඩු කළොත්—අනාගතයේදී සේවකයා නීතිමය අවදානමටත්, රෝගියා සේවාව නොලැබීමේ අවදානමටත් යනවා. රෝගී අයිතින්, සේවක අයිතින් සහ රාජ්‍ය වගකීම් යන තුනම එකවර ආරක්ෂා කරන පොදු ප්‍රතිපත්තියක් ඕනේ. එහෙම නැතුව රජය බාල ඖෂධ දීල බාලා උෂ්ණ දෙයක් රෝගීන්ට දීමේ වගකීම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට දෙනවා වගේ එකක් කරන්න. උදාහරණයකට රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය රෝහල් වල බාල ඖෂධ පුරවලා, ඒවා රෝගීන්ට ලබා දීපු වෛද්‍යවරයාව හෝ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය උසාවියට අරං යනවා වගේ එකක් කරන්න දෙන්න බැහැ.
Q9) ස්ථානමාරු ප්‍රශ්නය ඇත්තටම කොච්චර බරපතළද?
A: දැන් මධ්‍යම රජය, පළාත් සභා, පළාත් පාලන වෙන්වෙන්ව ව්‍යුහ තුනක් නිසා ස්ථානමාරු සංකීර්ණයි. සමහර සේවකයන්ට වසර 10–15 එකම තැන රැඳී ඉන්න වෙනවා.
ස්ථානමාරු ප්‍රතිපත්තියක් විද්‍යාත්මකව සකස් කරනාවා වෙනුවට කාර්‍යමණ්ඩලයෙන් පලි ගැනීම සඳහා සෞඛ්‍ය බලධාරීන් ඒක ආයුධයක් කරගෙන තියනවා. පලාත් රෝහල් වලට සමහර සේවාවන්ට ස්ථාන මරු වෙන්න දෙන්නේ නැත්තේ සෞඛ්‍ය සේවාවේ උන්නතියට නෙවේ. දේශපාලකයන්ට ඕනේ ඕනේ විදිහට රැකියා දෙන්න බැරිවෙන නිසා.
Q10) “ආරෝග්‍යා” වැනි නව වැඩසටහන් ගැන ඔබලාට විරුද්ධ ඇයි?
A: විරුද්ධ වීමක් නෙවෙයි, ප්‍රායෝගිකත්වයයි ප්‍රශ්නය. කාර්ය මණ්ඩල හිඟයක් අතරතුර නිසි ශක්‍යතා අධ්‍යනයක් නැතිව නව වැඩසටහන් අරඹන එක සේවාවට අමතර බරක්.කළ යුත්තේ අලුත් නාම පුවරු දාන එක නෙවෙයි, දැනට පවතින ප්‍රාථමික සෞඛ්‍ය මාර්ගෝපදේශ හා ප්‍රතිපත්ති උඩින් කාර්යක්ෂමව වැඩ කිරීම. ප්‍රාථමික සෞඛ්‍ය සේවාව වැඩිදියුණු කිරීම සඳහා අවුරුදු දහයක විතර තිස්සේ පාර්ශව කරුණු විදිහට අපි හැමෝම එක්ක සාකච්ඡා කරලා ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝක බැංකුව වගේ ආයතන විධිමත් විදිහට පහුගිය කාලෙ වැඩ කරල තිබ්බා. විශාල මුදල් කන්දරාවක් වියදම් කරලා රටේ හැම පවුල් හතළිහකටම එක ආයතනයක් වන විදිහට ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර ඒකක පවා නිර්මාණය කළා. ආණ්ඩුව ඇත්තටම දැන් කරලා තියෙන්නේ පවුලකට සෞඛ්‍ය ඒකකයක් කියන එක පවුලකට වෛද්‍යවරයෙක් විදියට වෙනස් කරලා, දේශපාලන තෙල බෙදන මධ්‍යස්ථාන කීපයක් හදාගෙන යනයන එක. ඒක පැහැදිලිවම සෞඛ්‍ය සේවාවේ ප්‍රතිපාදන යාන්ත්‍රණ තමන්ගේ පක්ෂයේ දේශපාලන ප්‍රචාරණයට යොදා ගැනීමේ යටි අරමුණින් කරන එකක් කියලා අපි චෝදනා කරනවා.
Q11) රාජ්‍ය–පෞද්ගලික හවුල්කාරිත්වය හරහා නිදහස් සෞඛ්‍ය සේවාව පුද්ගලිකරණය වෙයි කියලා ඔබලා කියන්නේ ඇයි?
A: පෞද්ගලික රෝහල් හවුල්කාරීත්වය යටතේ පළමු පියවර විදිගට වෛද්‍ය පරීක්ෂණ, විකිරණ සේවාවන්, ස්කෑන් පරීක්ෂණ, ඇතැම් ශල්‍යකර්ම පවා පෞද්ගලික අංශයට දෙන්න, සෞඛ්‍ය ඇමතිවරයා දැනටමත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය අරගෙන තිබෙනවා. දැන් මොනවද අපි පෞද්ගලික අංශයෙන් ලබාගන්න බලාපොරොත්තු වෙන්නේ. නිදහස් සෞඛ්‍ය සේවාව ගත්තහම පෞද්ගලික අංශයට වඩා දියුණු වෘත්තිකයෝ උපකරණ, ඒවගේම රෝහල් පද්ධතියක් අපිට තියෙනවා. අපි කොහේ හරි තැනක ෆේල් වෙලා තියෙනවා නම් ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කළමනාකරණ වරදකින් වෙච්ච දෙයක්. ඒ අනුව ගත්තහම හවුල්කාරීත්වය අවශ්‍ය නම් අවශ්‍ය වෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාශයට මිස රෝහල්වලට නෙවෙයි. මේවා පටන් ගන්නේ, මුලින් “රජය ගෙවයි” කියලා, අවසානයේ ගෙවන්න වෙන්නේ මහජනතාවට. නිදහස් සෞඛ්‍ය සේවාවේ අරමුණ “ගෙවලා ගන්න” නෙවෙයි. “සමාන ප්‍රවේශය” (equity) සහ “නොමිලේ ප්‍රතිකාර” (free at point of use) නෙවෙයිද? ඒක අහිමි වුණොත් පීඩාව මහජනතාවටමයි.
Q12) වෘත්තීය සමිති මර්දනය හා දේශපාලනීකරණය ඇයි රජයට චෝදනා කරන්නේ?
A: ගැටලු විසඳන්න සාකච්ඡා නොදී, වෘත්තීය සමිති ඉල්ලීම් “දේශපාලන” කියලා ලේබල් කරලා, ඉල්ලීම කළ නායකයන් හෝ සංගම් ඉලක්ක කරලා අපහාස කිරීම, බිය ගැන්වීම, නීතිමය තර්ජන, වැඩ තහනම් කිරීම, මේවා තමයි මර්දනය. වෘත්තීය සමිතියට ගෞරව නැති නම්, ඒකෙන් කියන්නේ සේවකයාටත් ගෞරව කරන්නේ නැහැ කියන එක. ප්‍රමාද වෙලා හරි බහුතර සෞඛ්‍ය කාර්මණ්ඩලය ඒ බව දැන් තේරුම් අරන් ඉන්නවා.
Q13) අනතුරු දීමනාව” (Hazard/Risk Allowance) ඉල්ලීම සාධාරණද?
A: සාධාරණයි. සෞඛ්‍ය සේවය තුළ අවදානම් (hazards) වර්ග ගණනාවක් තියෙනවා. විෂබීජ, විකිරණ, රසායනික අවදානම්, ආක්‍රමණ, අඩත්තේට්ටම්, දිගු සේවාමුර, වැඩ බර, උපකරණ අසාර්ථකවීම්, ඖෂධ හිඟය වගේ බොහෝ දේවල් නිසා විශාල වෘත්තීය ආතතියක් හා අවදානමක් සෞඛ්‍ය කාර්‍යමණ්ඩලයට තිබෙනවා. අන්තර්ජාතික OSH මූලධර්ම කියන්නේ—අවදානම තියෙන සේවාවක සේවකයා සුරක්ෂිත කිරීම, ආරක්ෂක පියවර ගැනීම, සහ සාධාරණ ප්‍රතිලාභ ලබාදීම අත්‍යවශ්‍ය කියලා. මොන අවදානම තිබ්බත් ඒ සේවාව ලබා දීමට සෞඛ්‍ය කාර්‍යමණ්ඩලවලට අනිවාර්‍ය වෙලා තියනවා. ඒ නිසා අපි ඉල්ලනවා සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට මූලික වැටුපෙන් 15% අනතුරු දීමනාවක් දෙන්න කියලා. ලෝකයේ බොහෝ රටවල් වල මිට වඩා වැඩි අවදානම් සහ අනතුරු දීමනාවක් සෞඛ්‍ය සේවාවට ලබා දෙනවා. ඊට අමතරව උපකරණ හිඟය ගුණාත්මක ඖෂධ නැතිවීමෙන් ඇතිවන ගැටළු ඒ වගේම කළමනාකරණ දුර්වලතා හින්දා ඇතිවෙන දිගු පෝලිං වගේ දේවල් වලින් රෝහල් තුළ මතුවෙන නොසන්සුන්තා හේතුවෙන් මතුවෙන ගැටලු වලටත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට මැදිවෙන්නට සිදුවීම වගේ දේවල් හරහාත් සෞඛ්‍ය කාර්‍යමණ්ඩල අවදානමකට ලක්වෙලා තිබෙනවා.
Q14) ඔබලාගේ අවසාන ඉල්ලීම මොකක්ද?
1.සාකච්ඡාවෙන් ගැටලු විසඳන්න රජය කැඳවීම.
2.කාර්ය මණ්ඩල හිඟය/කැඩර්/උසස්වීම්/ස්ථානමාරු/ඖෂධ-උපකරණ හිඟය ගැන ලියවිලිමය විසඳුම් සහ කාලසීමා.
3.පුද්ගලිකරණ ධාවනය නවතා මහජනතාවට නිදහස් සේවාව රැකගන්න විවෘත සාකච්ඡාවක්.
4.සේවක–රෝගී අයිතිවාසිකම් එකට සුරක්ෂිත වන පොදු ප්‍රතිපත්තියක්.
5.සියලු කාර්ය මණ්ඩලයට 15% අනතුරු දීමනාව.
Q15) සාකච්ඡාවක් ලැබුණේ නැත්තම්?
A: එහෙම නම් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය ඒකාබද්ධ අරගලයක් සඳහා නායකත්වය දෙනවා. මෙය “වෙනුවක්” නෙවෙයි—නිදහස් සෞඛ්‍ය සේවාව රැකගන්න ගන්නා අවශ්‍ය පියවරක්.
අපගේ කැඳවීම
*සාකච්ඡාවෙන් ගැටලු නිරාකරණය කිරීමට බල කරමු
*අයිතිවාසිකම් උදෙසා – සටන් කරමු
*නිදහස් සෞඛ්‍ය සේවාව – රැකගනිමු
රවි කුමුදේශ් - සභාපති සෞඛ්‍ය වෘත්තිවේදීන්ගේ විද්වත් සංගමය
කැඳවුම්කාර කමිටුව
සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය

