රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගය අද (02) උදෑසන සිට තීව්‍ර කරන බව එම සංගමය පවසයි.
ඒ අනුව අද උදෑසන 8.00 සිට මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තීව්‍ර කිරීමට පියවර ගන්නා බව එම සංගමය සඳහන් කළේය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ අද සිට ආරම්භ කරන අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ග තුළදී ,
*රෝහල තුළ නොමැති ඖෂධ සහ උපකරණ බාහිරින් ලබා ගැනීම සඳහා රෝගීන්ට නිර්දේශ කර තුණ්ඩු නිකුත් කිරීම අත්හිටුවීම
*රෝහල තුළ නොමැති රසායනාගාර පරීක්ෂණ බාහිරින් සිදු කරගැනීම සඳහා රෝගීන්ට නිර්දේශ කර තුණ්ඩු නිකුත් කිරීම අත්හිටුවීම
*දේශපාලන කණ්ඩායම් විසින් සංවිධානය කරනු ලබන සෞඛ්‍ය කඳවුරු සහ සායන සඳහා ස්වෙච්ඡාවෙන් සහභාගි වීමෙන් ඉවත් වීම
*අනුමත වෛද්‍යවරුන් සංඛ්‍යාව නොමැතිව රෝහල් පද්ධතිය තුළ විවෘත කරන නව රෝහල් වාට්ටු සහ ඒකකවලට වෛද්‍යවරුන් අනුයුක්ත කිරීම අත්හිටුවීම
*රෝගීන් ගේ ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය සුරැකීමට අවශ්‍ය ප්‍රමාණවත් පහසුකම් සහ සහායක කාර්යමණ්ඩලය නොමැතිව රෝගීන් පරීක්ෂා කිරීමෙන් ඉවත් වීම
*විශේෂඥ වෛද්‍යවරුන් තමන් අනුයුක්ත කරන ලද රෝහල තුළ පමණක් විශේෂඥ සේවා සැපයීම සහ ඉන් පරිබාහිර විශේෂඥ වෛද්‍යවරුන් නොමැති රෝහල්වල සේවා සදහා රාජකාරි ආවරණය කිරීමෙන් ඉවත් වීම යනාදි වෘත්තිය ක්‍රියාමාර්ගයන්ට එළැඹීමට තමන් සූදානම් වන බව ය.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය 26වෙනි දා සමස්ත රෝහල් පද්ධතිය ආවරණය වන පරිදි මෙම අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබුණි.
එහිදී පසුගිය 26වෙනි දා දින රැස්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව සෞඛ්‍ය අමාත්‍යවරයාට ඔවුන් ගේ ගැටලු සඳහා සාධනීය විසඳුමකට එළැඹ එය ප්‍රකාශයට පත් කිරීම සඳහා පැය 48ක කාලයක් ලබා දීමට තීරණය කළේ ය.
කෙසේ නමුත් අදාළ ඉල්ලීම් සඳහා සාධනීය විසඳුම් ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපෙහොසත්ව ඇති බවත් මේ හේතුවෙන් අද සිට එම වෘත්තිය ක්‍රියාමාර්ගය තීව්‍ර කරමින් අඛණ්ඩ නැවත ඉදිරියට පවත්වාගෙන යෑමට තීරණය කර ඇත.
ඒ අනුව මීට අදාළව එම සංගමයේ විධායක සභාවේ හදිසි රැස්වීමක් පසුගිය දා (31) පෙරවරුවේ පැවැත්වුණු අතර එහි දී මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.



