නව අධ්‍යාපන වෙනස සඳහා පුහුණුකරුවන් පුහුණු කිරීමේ කටයුතු 99%ක් අවසන් - අධ්‍යාපන ලේකම්

නව අධ්‍යාපන වෙනස සඳහා පුහුණුකරුවන් පුහුණු කිරීමේ කටයුතු 99%ක් අවසන් - අධ්‍යාපන ලේකම්

නව අධ්‍යාපන පරිවර්තනය වෙනසකට මුල පුරමින් 2026 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අතර මෙම නව අධ්‍යාපන වෙනස සඳහා පුහුණුකරුවන් පුහුණු කිරීමේ කටයුතු ජාතික අධ්‍යාපන ආයතනය මගින් සිදු කරන අතර එහි 99% පමණ අවසන් කර ඇතැයි  අධ්‍යාපන ලේකම් නාලක කලුවැව පැවසී ය.

 

ඔහු මෙම අදහස් පළ කළේ ඉදිරි වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ වර්තමාන තත්වය සහ ඊට  සමගාමීව සිදුවන  පාසල් කාලය විනාඩි 30කින් දීර්ඝ කිරීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම අරමුණු කරගෙන ඊයේ (06) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේ දී ය.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන ලේකම් නාලක කලුවැව...

 

වෙනස් කරන කාල සීමාවට සාපේක්ෂව ප්‍රවාහන කාලසටහන්වල වෙනසක්

''1 සහ 6 ශ්‍රේණිවලට අදාළ ගුරුවරුන් පුහුණු කිරීම 2025.12.31 පමණ වන විට අවසන් කරනවා. මෙම ශ්‍රේණි දෙක සඳහා එක වාරයක් සඳහා අවශ්‍ය මොඩියුල 106ක්  ඉදිරි සති දෙක තුළ මුද්‍රණය කර අවසන් කිරීමට නියමිතයි. මේ වන විට සමාජයේ බොහෝ කතා බහට ලක්ව ඇති පාසල් කාලය විනාඩි 30න් දීර්ඝ කිරීම 5 ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණිවල සිදු කරනවා.

මෙය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ ක්‍රියාකාකරම් මූලික අධ්‍යාපනයක් සිදු කිරීමට නියමිත බැවින් එක් කාලඡේදයක් විනාඩි 50ක් කිරීම සමස්ත ක්‍රියාවලියක ප්‍රතිඵලයක් මත සිදුවන කටයුත්තක්. ඊට සාපේක්ෂව දුම්රිය, ලංගම බස් යනාදි පොදු ප්‍රවාහන සේවාවල කාලය වෙනස් කිරීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව, ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ජාතික ගමනාගමන මණ්ඩලය යනාදි ආයතන සමග සාකච්ඡා පවත්වා තිබෙනවා.

දෙමාපියන් දැනුවත් කිරීම දෙසැම්බර් මාසයේ

ඉදිරි වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන පරිවර්තනය පිළිබඳ පළාත් 09 ආවරණය වන පරිදි සියලුම අධ්‍යාපන බලධාරීන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ වැඩ සටහන් මේ වන විට ක්‍රියාත්මක යි. ඒ පවතින්නේ අවසන් අදියරේ. එමෙන්ම මේ සම්බන්ධව දෙමව්පියන් දැනුවත් කිරීමේ රැස්වීම් මාලාවක් දෙසැම්බර් මාසයේ දී සිදු කිරීමට නියමිත යි.''

මෙම මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දැක්වූ ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ප්‍රකාශ කර සිටියේ මෙම විෂය මාලා සකස් කිරීමේදී ලෝකයේ විවිධ රටවල අධ්‍යාපන ක්‍රමය පිළිබද පුළුල් නිරීක්ෂණයක් සිදු කළ බවත් ළමා මනසට උචිත ආකාරයෙන් අනාගත වැඩ ලෝකයට අවශ්‍ය ආකාරයට මෙය සකස් කර ඇති බවයි. පරිවර්තනීය අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ දී 10 ශ්‍රේණියේ සිට වෘත්තීය අධ්‍යාපනයට යොමු කිරීමේ මූලික අඩිතාලම සිදු කරන බවත්, එය ඉදිරියට ගෙන යාමක් ලෙස අ.පො.ස. උසස් පෙළ විෂය ධාරාව තුළත් එම අධ්‍යයන ඉදිරියට කරගෙන යා හැකි වන පරිදි සකස් කරන බව ද ප්‍රකාශ කළේ ය.

පාසල් කාලය විනාඩි 30ක් දීර්ඝ කිරීමට අදාළව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් නාලක කලුවැව සඳහන් කළේ  නවීන තාක්ෂණයත් සමග බද්ධ වී ඉදිරියට යන ලෝකයට ගැළපෙන දරුවකු සමාජගත කිරීමේ අරමුණින් සිදුකරගෙන යන මෙම නව අධ්‍යාපන පරිවර්තනයට ගුරුවරුන් සහයෝගය ලබා දෙතැයි අපේක්ෂා කරන බවයි.

මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විභාග කොමසාරිස් ජනරාල්, අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු සහ අධ්‍යක්ෂවරු සහභාගි වූහ.

 

 

 

 

nalaka2

 

 

 

 

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න