නව ජනතා පෙරමුණ, සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රී නාලක බණ්ඩාර ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු විසින් ඊයේ (29) මැතිවරණ කොමිෂන් සභාවට, ආණ්ඩුකාර කාර්යාලයට හා රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත සංදේශයක් බාර දෙන ලදී.
ඒ, මෙතෙක් පිහිටුවා නොමැති සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති හා උප සභාපති තෝරා පත් කරගැනීමේ ගැටලුව පිළිබඳව සඳහන් කරමිනි.
සීතාවක ප්‍රාදේශීය සභාව නියෝජනය කරන සභිකයින් වශයෙන් ඔවුන් මෙම සංදේශය බාරදෙමින් ඉල්ලා සිටියේ එම බල සීමාවේ ඡන්ද දායකයින්ගේ අයිතිය දිගින් දිගටම උල්ලංඝනය කරමින් සිදු කරන මෙම ක්‍රියාවලිය නතර කර වහාම සීතාවක ප්‍රාදේශීය සභාවේ  සභාපතිවරයා හෝ උප සභාපතිවරයා තෝරා පත් කර ගැනීමට අදාළ සභා රැස්වීමක් කැඳවීමට අවශ්‍ය කඩිනම්  නෛතීක ක්‍රියාමාර්ග ගන්නා ලෙස ය.
එම අවස්ථාවේ දී මාධ්‍යයට අදහස් දැක්වූ ඔවුන් පැවසුවේ 2025 මැයි මස 06 වන දින පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව සීතාවක ප්‍රාදේශීය සභාවේ සමස්ත ආසන සංඛ්‍යාවෙන් 50% කට වඩා වැඩි ආසන සංඛ්‍යාවක් කිසිදු පක්ෂයකට හෝ ස්වාධින කණ්ඩායමකට හෝ දිනා ගැනීමට නොහැකි වූ බැවින් 2012 අංක 22 දරණ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනතේ 66 ඇ (1) (2) (3) වගන්තිවලට අනුව සභිකයින්ගේ ඡන්දයෙන් සභාපතිවරයා හෝ උප සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා 2025.06.17 වන දින පළමු රැස්වීම කැඳවුව ද එහි දී තෝරා ගැනීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් මතු වු අර්බුදකාරී තත්ත්ව හමුවේ සභාවේ ගණපුර්ණය නොමැතිවීම මත අදාළ රැස්වීම කල් තැබූ බවයි.
2025.07.15 වන දින දෙවන වරට ද සභාපතිවරයා හෝ උප සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා රැස්වීම කැඳවුව ද එහි දී ද තෝරා ගැනීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් මතුවු අර්බුදකාරී තත්ත්වය හමුවේ සභාවේ ගණපුර්ණය නොමැතිවීම මත අදාල රැස්වීම ද කල් තබා ඇති බව ද ඔවුහු ප්‍රකාශ කළහ.
2025 ජුලි මස 15 වන දින සිට මේ දක්වා මාස තුනකට අධික කාලයක් සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා හෝ උප සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සදහා රැස්වීමක් කැඳවීමට අදාළ කිසිදු නීත්‍යාණුකූල ක්‍රියාමාර්ගයක් ගැනීමට අදාළ බලධාරීන් අපොහොසත් වී ඇති බවත්, පවතින නීතිමය ප්‍රතිපාදන යටතේ ක්‍රියා කිරීමට බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය අසමත් වී ඇති අතර ඒ තුළින් සීතාවක ප්‍රාදේශීය සභා බල සීමාව තුළ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීමට නොහැකිව ඉතා අවසනාවන්ත තත්වයක් උද්ගත ව ඇති බව ද ඔවුහු ප්‍රකාශ කර සිටියහ.


 
     
    