සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මධ්‍යම රජය සහ පළාත් පාලන ආයතන මනා සම්බන්ධීකරණයකින් යුතුව ඒකාබද්ධව කටයුතු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය.
දේශපාලන අධිකාරිය තම බලය රඳවා ගැනීම වෙනුවෙන් පළාත් පාලන ආයතන භාවිත කළ සංස්කෘතිය වත්මන් රජය යටතේ අවසන් කර ඇති බව අවධාරණය කළ ජනාධිපතිවරයා, රට සංවර්ධනය කිරීමේ ජාතික සැලැස්මක් කරා ගමන් කිරීම වෙනුවෙන් මධ්‍යම රජය සහ පළාත් පාලන ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාවද පෙන්වා දුන්නේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම උපදෙස් ලබා දුන්නේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මධ්‍යම ආණ්ඩුව සහ පළාත් පාලන ආයතන අතර මතුව ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට සහ පළාත් පාලන ආයතන සඳහා 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනයට මෙන්ම, 2026 වසරට අදාළ පූර්ව අයවැය සාකච්ඡාවකට අද (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.
අධ්‍යාපන, සෞඛ්‍ය සහ මහාමාර්ග වැනි ක්ෂේත්‍රවලට අදාළව සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මධ්‍යම රජය සහ පළාත් පාලන ආයතන අතර මතු ව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර, ඊට අදාළ විසඳුම් සහ යෝජනා පිළිබඳවද සාකච්ඡා කෙරිණි.
විදේශ ණය සහ ආධාර යටතේ මෙරටට හිමි වන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී විශේෂ ව්‍යාපෘති කාර්යාල ගොඩනඟමින් ඒ වෙනුවෙන් විශාල පරිපාලන වියදමක් දරනවා වෙනුවට පවතින පරිපාලන ව්‍යුහය තුළ කටයුතු කර, අදාළ ව්‍යාපෘති නිසි කාලය තුළ අවසන් කරමින් එහි ප්‍රතිලාභ ජනතාවට ලබා දීමට කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී පළාත් ආණ්ඩුකාරවරුන්ට සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.
පාසල් පද්ධතිය විධිමත් කිරීමේ සැලසුම් පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ අතර කලාප මට්ටමින් එක් එක් පාසල් වෙත ගොස් එම පාසල් පිළිබඳව සමීපව අධ්‍යයනය කර සියලු දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් හොඳම විසඳුම ඉදිරිපත් කරන ලෙසද ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී වැඩිදුරටත් නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
පළාත් ආණ්ඩුකාරවරුද, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන රසල් අපෝන්සු, කපිල ජනක බණ්ඩාර යන මහත්වරු, අමාත්‍යාංශ ලේකම්වරු, දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු සහ මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.