පැපුවා නිව්ගිනියාවේ සේවය කරන ශ්‍රී ලාංකික විද්වතෙකු වන පී.එම්.එන් බණ්ඩාර වෙත එරට රජය විසින් රාජකීය සම්මානයක් ප්‍රදානය කර ඇත.
මෙම සම්මානය ප්‍රදානය කරන ලද්දේ පැපුවා නිව්ගිනියාවේ 50වැනි නිදහස් සමරු දිනය වෙනුවෙනි.
හෙතෙම පැපුවා නිව්ගිනියා විශ්ව විද්‍යාලයේ ගිණුම්කරණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා සහ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයා ලෙස පසුගිය වසර 23ක් තිස්සේ සේවය කරයි.
විවිධ අංශවලින් එරට කරන ලද විශිෂ්ඨ සේවාව අගය කිරීම සඳහා මෙම සම්මානය සඳහා බණ්ඩාර ගේ නම එරට රජය විසින් චාර්ල්ස් රජතුමා වෙත නිර්දේශ කර ඇත.
මොහු ශ්‍රී ලංකාවේ නිර්වේතනික කොන්සල්වරයා ලෙසද ශ්‍රී ලංකා පැපුවා නිව්ගිනියා මිත්‍රත්ව පදනමේ සභාපතිවරයා ලෙස පසුගිය වසර 10ක් තිස්සේ සේවය කර ඇත. මෙමගින් දෙරට මිත්‍රත්වය, ජාතික සමගිය හා ශ්‍රී ලාංකිකයන් ඒකරාශි කිරීමේ කාර්යයට ඉමහත් දායකත්වයක් ලබාදී ඇත.
මොහු පැපුවා නිව්ගිනියාවේ සහතිකලත් ගිණුම්කරණ ආයතනයේ පාලක මණ්ඩලයේ සමාජිකයෙකු ලෙස පසුගිය වසර 9ක් තිස්සේ නොකඩවා සේවය කරයි.
ගිණුම්කරණ ක්ෂේත්‍රයට මොහුගෙන් සිදුවූ සේවය අගය කිරීම සඳහා 2023 වසරේදී විශිෂ්ඨ සේවා සම්මානය ප්‍රදානය කරන ලදී. හෙතෙම පැපුවා නිව්ගිනියාවේ අධ්‍යාපන ආයතන ගණනාවක පාලක මණ්ඩල සමාජිකයෙකු ද වේ.
මීට අමතරව අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ උපදේශක කමිටු ගණනාවක සාමාජිකයෙකු ලෙසද සේවය කරයි.
2017 වසරේදී එලිසබෙත් මහරැජිණගේ අනුමැතිය ඇතිව එරට රජය විසින් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට කරන ලද සේවය අගය කිරීම සඳහා ඔහුට විශිෂ්ඨ සම්මානයක් ප්‍රදානය කළේය.
හෙතෙම ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය සහ පැපුවා නිව්ගිනියාවේ ජාතික රෝහල සමග එක්වී ඇස් දන්දීමේ වැඩසටහනක් ආරම්භ කොට සාර්ථකව පවත්වාගෙන යයි.
මෙමගින් දෘශ්‍යාබාධිත පුද්ගලයන් ගණනාවකට දෘශ්ඨිය ලබාදී ඇත.
ඔහු නමගිය ග්‍රන්ථ රචකයෙකි. මොහු විසින් ආර්ථික විද්‍යාව, ව්‍යාපාර අධ්‍යයනය සහ ගිණුම්කරණය යන විෂයන් සඳහා ග්‍රන්ථ 11ක් ලියා පළ කර ඇත. මෙම පොත් නිර්දේශ ග්‍රන්ථ ලෙස පාසැල්වල, කාර්මික හා ව්‍යාපාරික අධ්‍යාපන ආයතනවල භාවිතාවේ.
ගතවූ කාලය තුළ මොහු විසින් විශ්ව විද්‍යාල සිසුන් දහස් ගණනාවකට අධ්‍යාපනය ලබාදී ඇත. මෙම උපාධිධාරීන් රාජ්‍ය හා ව්‍යාපාරික අංශයේ උසස් නිලතල දරති. සමහරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඇමැතිවරුන්ද වේ.
(ජේ.මුණසිංහ)

