ඕස්ට්‍රෙලියාවට ශ්‍රී ලංකාව ගෙවිය යුතුව තිබූ ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 39ක හිඟ ණය ආපසු ගෙවීමට සහන ලබා දීමට අද (27) එකඟතාවය පළ විය.
විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ ඕස්ට්‍රේලියානු රජය අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ගිවිසුමකට එළඹීමත් සමග මෙය සිදු විය.
ශ්‍රී ලංකා රජය සහ ඕස්ට්‍රේලියානු රජය අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ද්වීපාර්ශ්වික ගිවිසුමකට එළඹීම, ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සහ එහි ආර්ථිකය නැවත ගොඩ නැගීම සඳහා ශ්‍රී ලංකාව දරන අඛණ්ඩ උත්සාහයේ සැලකිය යුතු සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමක් වේ.
නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ ඇති කරගත් අවබෝධතා ගිව්සුමට අනුව, විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කාලෝචිත අයුරින් අවසන් කිරීම සඳහා, ශ්‍රී ලංකා රජයේ දැඩි කැපවීම මෙම ගිවිසුම මඟින් පිළිබිඹු වේ.
ඵලදායි ද්වීපාර්ශ්වික සාකච්ඡා මඟින්, ඕස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකාවට හිඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් ණය සහන ලබා දීමට එකඟ වී ඇත. මෙම ගිවිසුම යටතේ ප්‍රතිව්‍යුහගතකරන ලද ඇස්තමේන්තුගත ණය ප්‍රමාණය ආසන්න වශයෙන් ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 39 ක් වේ.
මෙම ද්වීපාර්ශ්වික ගිවිසුම් අත්සන් කිරීම, අද (27) මුදල් අමාත්‍යාංශයේදී සිදුවිය.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ගිවිසුම් වලට අත්සන් කිරීම මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා විසින් සිදු කරන ලදි. ආචාර්ය සූරියප්පෙරුම මහතා සහ ඕස්ට්‍රේලියානු රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස් තනතුරෙහි දිවුරුම් දීමට නියමිත Matthew Duckworth, මහතා අතර එම ගිවිසුම් හුවමාරු කරගැනීම සිදුවිණි.
මෙම ද්වීපාර්ශ්වික ගිවිසුමට එළඹීම තුළින් ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවරත්වය කරා යන ගමනට දායක වීම පමණක් නොව, ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ගැඹුරු සහ දිගු කාලීන ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමක් බව මුදල් ලේකම්වරයා පැවසීය.
ඕස්ට්‍රේලියානු රජයේ අඛණ්ඩ සහයෝගීතාවයට සහ සබඳතාවයට ශ්‍රී ලංකා රජය සිය අවංක කෘතඥතාව පළ කරන බවද ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
(ජේ. මුණසිංහ)


