ඉන්දීය විදේශ ඇමති ජනපති හමු වෙයි

ඉන්දීය විදේශ ඇමති ජනපති හමු වෙයි

දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහඅතර නිල හමුව අද (20) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී සිදු විය.

ඉන්දියාවේ නව රජය පත්වීමෙන් පසුව එරට රාජ්‍ය තාන්ත්‍රිකයෙකු මෙරට සිදුකරන පළමු සංචාරය සනිටුහන් කරමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට එක්ව සිටියි.

ජනාධිපති මන්දිරය වෙත පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක  විසින් පිළිගනු ලැබීය.

අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතර නිල හමුව සිදුවූ අතර දෙරට අතර ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති සමාලෝචනය කිරීමේ ද්විපාර්ශ්වික සාකච්ඡා ඉන් අනතුරුව ආරම්භ කෙරිණි.

මේ අතර ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවන්හි නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සිදුකෙරුණු ව්‍යාපෘති 03 ක් ජනතා අයිතියට පවරාදීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්ගේ සහභාගිත්වයෙන් සිදු විය.

ඉන්දීය නිවාස ව්‍යාපෘතිය යටතේ මහනුවර, නුවරඑළිය සහ මාතලේ ප්‍රදේශවල ඉදිකෙරුණු නිවාස 106ක් විවෘත කිරීමට අදාළ ඩිජිටල් සමරු ඵලකය නිරාවරණය කිරීමට පළමුව ජනාධිපතිවරයා සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා එක් විය.

කොළඹ සහ ත්‍රිකුණාමලයේ ආදර්ශ ගම්මාන දෙකක ඉදිකරන ලද නිවාස 24 බැගින් ජනතාවට භාරදීම සිදු කෙරුණේද ජනාධිපතිවරයා සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතිනි.

ඩොලර් මිලියන 6ක ඉන්දීය ප්‍රදානයක් යටතේ ස්ථාපිත ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (MRCC) නිල වශයෙන් විවෘත කිරීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සහ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්  එක් විය.

මෙම සම්බන්ධිකරණ මධ්‍යස්ථානයට කොළඹ නාවික හමුදා මූලස්ථානයේ මධ්‍යස්ථානයක්, හම්බන්තොට උප මධ්‍යස්ථානයක් ඇතුළුව ගාල්ල, ආරුගම්බේ, මඩකලපුව, ත්‍රිකුණාමලය, කල්ලරාව, පේදුරුතුඩුව සහ මොල්ලිකුලම් යන ප්‍රදේශ ආශ්‍රිත මිනිසුන් රහිත සවිකිරීම් ද ඇතුළත් වේ.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන  සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තොෂ් ජා  ඇතුළු ඉන්දීය දූත පිරිස මෙම අවස්ථාවට එක්ව සිටියහ.{gallery}Indo-Sri Lankan Relations{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න