රිෂාඩ් සජිත්ගෙන් ගැලවෙන ලකුණු : ප්‍රසිද්ධියේ ජනපති රනිල්ව අගයයි !

රිෂාඩ් සජිත්ගෙන් ගැලවෙන ලකුණු : ප්‍රසිද්ධියේ ජනපති රනිල්ව අගයයි !

මන්නාරම දිස්ත්‍රික්කයේ සංවර්ධනය කටයුතු සඳහා මෙතෙක් ලබා දුන් වැඩිම ප්‍රතිපාදන ප්‍රමාණය ලබා දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට ප්‍රශංසා කරන බව හිටපු අමාත්‍ය , සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් පවසයි .

ඔහු මේ බව සඳහන් කර සිටියේ  ඊයේ(16) පැවති මන්නාරම දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී  අදහස් දක්වමින් ය.

මඩු පල්ලිය මාර්ගයේ මාර්ග බාධක ගැටළුව විසඳීම ඇතුළු ගැටළු විසඳමින්  දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු ඉදිරියට ගෙනයාම සඳහා ජනාධිපතිවරයා ලබා දෙන නායකත්වය ද ඔහුගේ ඇගයීමට ලක් විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂයේ  පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මෙසේද පැවසීය .

ජනාධිපතිතුමා අද මන්නාරමට පැමිණ මෙහි ජනතාවගේ ගැටලු රැසකට විසඳුම් ලබා දුන්නා. ඒ වගේම මන්නාරම දිස්ත්‍රික්කය පුළුල් සංවර්ධනයකට ලක් කිරීමට අවශ්‍ය සැලසුම් එතුමා සතුව තිබෙනවා. ඒ වෙනුවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ සියලු මන්ත්‍රීවරුන් වෙනුවෙන් මම ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වෙනවා.

යහපාලන ආණ්ඩුව සමයේ මන්නාරම දිස්ත්‍රික්කයේ සංවර්ධනය සඳහා අවශ්‍ය මුදල් වෙන් කළා. නමුත් එම සංවර්ධන කටයුතු ක්‍රියාත්මක නොවූ අතර වුවමනාවෙන්ම එය මඟහැර දැමුවා. ඒ වගේම පසුගිය වසර 04ක කාලය තුළ දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් කිසිදු මුදලක් වෙන් කර නැහැ. මන්නාරම දිස්ත්‍රික්කයේ සංවර්ධනය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර මෙම වසරේ දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් විශාල මුදලක් වෙන් කිරීම පිළිබඳ මම ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ බොහෝ නිහැඩියාවකට පසුව උනුසුම් දේශපාලන පසුබිමක ප්‍රබල මුස්ලිම් දේශපාලන නායකයකු වන රිෂාඩ් බදියුදීන් ගේ මේ ප්‍රසිද්ධ ප්‍රකාශය බොහෝ දුරට ඉදිරි දේශපාලන තීන්දුවක ස‍ංඥාවක් ලෙස සැලකිය හැකි බවය.

මෙතෙක් සමගි ජනබලවේගය පක්ෂය සමඟ සන්ධානගතව සිටි රිෂාඩ් මන්ත්‍රීවරයා ප්‍රමුඛ ඔහුගේ මන්ත්‍රී කණ්ඩායම පසුගිය සමයේ සජබ නායක සජිත් ප්‍රේමදාස ගේ දේශපාලන හැසිරීම පිළිබඳව දරුණු කළකිරීමක සිටි බවද විචාරකයන් සිහිපත් කරයි.  රාජපක්ෂ කඳවුරට සම්බන්ධව සිටි උග්‍ර ජාතිකවාදීන් කිසිදු හිරිකිතයකින් තොරව සජබ ට එක්කර ගැනීම ඊට හේතු වූ බවත් ඔවුන් පෙන්වා දෙයි. ඒ අනුව ඉදිරියේදී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ප්‍රමුඛ ඔහුගේ පක්ෂය එළැඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සහාය පිණිස ගොඩනඟන සන්ධානයට එක්වීමේ වැඩි ඉඩක් ඇති බවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.