2022 වසරේ පැවැති මහජන අරගල සමයේදී එවකට පැවැති රජය දැඩි ලෙස විවේචනය කළැයි සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන අනුරුද්ධ බණ්ඩාර අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම තුළින් ඔහු ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.
මෙම තීන්දුව ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ මෝදර පොලිසියේ එවකට ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක නලීන් ශ්‍රියන්ත යන නිලධාරීන් විසින් පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවයි.
2022 අප්‍රේල් මස එවකට පැවැති ආර්ථික හා දේශපාලන අර්බුදයට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළකිරීම හේතුවෙන් අනුරුද්ධ බණ්ඩාරව සිවිල් ඇඳුමින් සැරසුණු පිරිසක් විසින් රැගෙන යන ලදී. ඉන්පසුව පැය ගණනාවක් යනතුරු ඔහු සිටින තැනක් පිළිබඳව පවුලේ අයට හෝ නීතිඥවරුන්ට දැනුම් නොදීම නිසා මෙය පැහැරගෙන අතුරුදන් කිරීමට දැරූ උත්සාහයක් ලෙස දැඩි කතාබහට ලක්විය. පසුව හෙළි වූයේ ඔහුව මෝදර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තබාගෙන සිටි බවයි. රජයට එරෙහිව කුමන්ත්‍රණය කිරීම සහ මහජනයා කැලඹීමට පත්වන ආකාරයේ පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ පළකිරීම, දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය යටතේ අත්අඩංගුවට ගැනීමට හේතුව ලෙස පොලිසිය පෙන්වා දී තිබුණා.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මැදිහත්වීමෙන් සහ නීතිඥවරුන් ගේ, මහජනතාව ගේ විරෝධතා හමුවේ ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා විසින් ඇප මත මුදා හැරීමට කටයුතු කරනු ලැබුවා.
එමෙන්ම තමන්ව අයුක්තිසහගත ලෙස අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස මෙන්ම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වූ බව පවසමින් අනුරුද්ධ බණ්ඩාර විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා.
එහිදී ඔහු රුපියල් මිලියන 100ක වන්දියක් ඉල්ලා සිටි අතර වගඋත්තරකරුවන් ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, මෝදර පොලිස් ස්ථානාධිපති ඇතුළු පිරිසක් නම් කර තිබුණා.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
