අලි මිනිස් ගැටුම පාලනය සඳහා නියමු ව්‍යාපෘති දෙකක්

අලි මිනිස් ගැටුම පාලනය සඳහා නියමු ව්‍යාපෘති දෙකක්

අලි මිනිස් ගැටුම වැඩි වශයෙන් පවතින ගම්මාන හා ගොවිබිම් ආරක්ෂා කිරීම සඳහා ‘තාවකාලිකව කෘෂි විදුලි වැට’ හා ‘ගම්මාන විදුලි වැට’ ලෙස නියමු ව්‍යාපෘති දෙකක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබේ.

වන අලි මිනිස් ගැටුම් පාලනය සඳහා මෑත කාලීනව ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් රේඛීය ආයතන ප්‍රධානීන් සමඟ ජනාධිතිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (20) පැවැති සාකච්ඡාවේදී මේ බව අනාවරණය විය.

මෙහිදී වන අලි මිනිස් ගැටුම් බහුලව පවතින ප්‍රදේශවල එම ගැටුම් පාලනය කිරීම සඳහා ඉදිකර පවත්වා ගෙන යනු ලබන විදුලි වැටට අමතරව, ගැටුම් බහුල දිස්ත්‍රික්ක කිහිපයක තෝරාගත් ප්‍රාදේශිය ලේකම් කාර්යාල බල ප්‍රදේශයන්හි නියමු ව්‍යාපෘති ලෙස ගොවිබිම් ආරක්ෂා කිරීම සඳහා කටයුතු ආරම්භ කර අස්වැන්න නෙලන කාලය දක්වා පමණක් අදාළ ගොවිබිම් ආරක්ෂා කර ගැනීම සඳහා ඉදිකරන ලද තාවකාලික කෘෂි විදුලි වැට (Agro Fence) ඉදිකිරීමට අවධානය යොමු කෙරිණි.

එසේම වනඅලි මිනිස් ගැටුම් බහුල ගම්මාන ආරක්ෂා කර ගැනීම සඳහා ගම්මානය වටා ඉදිකරන විදුලි වැට (Village Fence) ඉදිකිරීම සඳහා වන නියමු ව්‍යාපෘතිය සම්බන්ධව ද මෙහිදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කරන ලදී.

එසේම කෘෂි විදුලි වැට (Agro Fence) ගොවිතැන් කටයුතු ආරම්භ කරන මොහොතේ අස්වැන්න නෙලීමෙන් පසු ඉවත් කිරීම අදාළ ගොවීන් විසින් සිදු කළ යුතු බව මෙන්ම එම විදුලි වැට නඩත්තු කිරීම හා භාරකාරත්වය සම්බන්ධයෙන් වූ වගකීම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට පැවරීමට ද ගම්මාන විදුලි වැට (Village Fence) නඩත්තු කර පවත්වා ගෙන යාම අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට පැවරීමට ද සාකච්ඡාවේදී තීරණය කෙරිණි.

එමෙන්ම විවිධ සංස්කෘතික කටයුතු හා පෙරහැර වෙනුවෙන් අලි ඇතුන් යොදා ගැනීමේදී පෞද්ගලික අලි ඇතුන්ට අමතරව හීලෑ අලි ඇතුන්ගේ සංචිතයක් පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

මෙම තීරණ ක්‍රියාත්මක කිරීමේ දී පැන නගින ගැටලු සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීම සඳහා සකස් කොට භාර දෙන ලෙසද මෙහිදී සාගල රත්තායක මහතා අදාල බලධාරීන්ට උපදෙස් දුන්නේය.

වනජීවී හා වනසංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ ඇතුළු රේඛීය ආයතන ප්‍රධානීන් හා වනඅලි මිනිස් පාලනය කිරීමේ කමිටු සාමාජිකයින් වන ආචාර්ය සුමිත් පිලපිටිය, ආචාර්ය ප්‍රිතිවිරාජ් ප්‍රනාන්දු මහත්වරු මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න