වැස්සත් සමඟ හිස ඔසවන ඩෙංගු මඩින්න කඩිනම් පියවර !

වැස්සත් සමඟ හිස ඔසවන ඩෙංගු මඩින්න කඩිනම් පියවර !

වර්ෂාව ලැබීමත් සමඟ කොළඹ නගරයේ ඇති විය හැකි ඩෙංගු අවදානම අවම කර ගැනීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මැයි 26 සිට ජුනි 01 දක්වා ක්‍රියාත්මක වන ඩෙංගු මර්දන සතිය තුළ අධ්‍යාපන අමාත්‍යංශය හරහා පාසල් දරුවන් සහ දෙමාපියන් දැනුවත් කිරීමට විශේෂ දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් සකස් කරන ලෙසද ඔහු උපදෙස් දුන්නේය.

මීට අමතරව රාජ්‍ය ආයතන, ආගමික ස්ථාන, සහ නව ගොඩැගිලි ආශ්‍රිතව ඩෙංගු ව්‍යාප්තවීමේ අවදානම අඩු කිරීම සඳහා කටයුතු කරන ලෙස බලධාරීන්ට උපදෙස් ලබා දුන් සාගල රත්නායක මහතා මෙම වැඩපිළිවලට අනුගත නොවන පිරිස් සඳහා නීතිය ක්‍රියාත්මක කරන ලෙසද අදාළ අංශ දැනුවත් කළේය.

සාගල රත්නායක මහතා මෙම උපදෙස් ලබා දුන්නේ අද (20) ජනාධිපති කාර්යාලයේ පැවති ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමට ගෙන යන වැඩපිළිවෙළේ වත්මන් තත්ත්වය පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී මීඨ ඉහතදී පවත්වන ලද සාකච්ඡාවේදී ගන්නා ලද තීරණ ක්‍රියාත්මක කිරීම හා ඒවායේ වත්මන් ප්‍රගතිය සමාලෝචනය කෙරිණ.

විශේෂයෙන් බස්නාහිර පළාත තුළ ඩෙංගු ව්‍යාප්තියේ වැඩි වීමක් පෙන්නුම් කරන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ කෙරෙහි අවධානය යොමු කරමින් එම ප්‍රදේශවල ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පසුගිය කාල පරිච්ඡේදය තුළ ගන්නා ලද ක්‍රියාමාර්ග හා ඒවායේ ප්‍රගතිය සම්බන්ධව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.

ඩෙංගු පාලනය කිරීම සඳහා සාගල රත්නායක මහතා විසින් ලබා දෙන නායකත්වය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල විසින් අගය කළ අතර සෞඛ්‍ය අමාත්‍යංශය මෙම වැඩපිළිවෙල සඳහා සිය උපරිම සහාය ලබා දෙන බවද පැවසීය.

මීට අමතරව කොළඹ නගරයේ ඇති අවදානම් සහිත ගස් සම්පූර්ණයෙන් ඉවත් කිරීම හෝ අතු කපා දමා අවදානම අවම කිරීම පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය. කෙසේ වුවද කපා දමන ගස් වෙනුවෙන් නව පැලයක් සිටුවීමේ වැඩපිළිවලක් සකස් කර එහි ප්‍රගතිය වාර්තා කරන ලෙසද සාගල රත්නායක  උපදෙස් දුන්නේය.

එසේම පිරිසුදු සහ ආකර්ශණිය වෙරළ තීරයක් පවත්වා ගැනීම මෙන්ම අපජලය මුහුදට මුදා හැරීම සඳහා වඩාත් සුදුසු ක්‍රමවේදයක් සකස් කර ගැනීම සම්බන්ධව සාකච්ඡාවක්ද අද (20) පෙරවරුවේ සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡා කර මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා කාර්ය සාධක බලකායක් පත් කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු විය.

රේඛීය අමාත්‍යාංශවල නිලධාරීන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවලට එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න