තවත් ඔන්ලයින් මුදල් වංචාකරුවෙක් මාට්ටු !

තවත් ඔන්ලයින් මුදල් වංචාකරුවෙක් මාට්ටු !

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ණය ලබාදෙන බවට ප්‍රකාශය කරමින් මුදල් වංචා කළ ගාල්ල ඉමදූව ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි වියේ පසුවන සැකකරුවකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි .

එසේම මෙම සැකකරු වාහන සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයේ පවතින නඩු විභාගයකට අදාළව අධිකරණය මගහැර දීර්ඝ කාලයක් සැඟව සිට ඇති බව ද පොලිසිය පවසයි.

එම සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනයකදී තිහගොඩ පොලීසිය විසින් මෙම සැකකරු බොරලැස්ගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු සන්තකයේ තිබී ටැබ් පරිගණකයක්, ජංගම දුරකථන හයක්, විවිධ බැංකු කාඩ්පත් අටක් සහ මුදලින් රුපියල් හතලිස්දහසක් පමණ පොලීසිය භාරයට ගෙන ඇත.

පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබෙන්නේ සැකකරු විසින් ඔන්ලයින් ණය ලබාදෙන මුවාවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් ණය සේවා ගාස්තු ලෙස රුපියල් 3000 සිට 5000ක් දක්වා වූ මුදලක් විවිධ බැංකු වෙත බැර කරවාගෙන ඇති බවය.

අනතුරුව ණය මුදල් ලබාදීමක් සිදු නොකර අදාළ ණය ඉල්ලුම්කරුවන් මගහරිමින් සැකකරු මෙම වංචාව සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

මේ සඳහා සැකකරු මුහුණුපොත සහ වට්ස්ඇප් භාවිතයට ගෙන ඇති බවට හෙළිවී ඇත.

සැකකරු අද (22) මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න