මේ ආණ්ඩුවට ප්‍රශස්ති ගී ගායනා කරන වන්දි බට්ට පිරිස තැන් තැන්වල වාඩි වී ආණ්ඩුව මාර හොඳ යි, මාර වැඩක් රටට කළා යැයි කියන්නට උත්සහ කරන බවත්, නමුත් ඒ වාසිය ලැබී ඇත්තේ මේ රටේ සාමාන්‍ය ජනතාවට ද නැතිනම් එක් සුළු පිරිසකට ද යැයි අපිට හිතන්න සිදුවන්නේ යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යමකාරක සභික සුජිත් කුරුවිට පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ "සබන්බෝල ආර්ථිකය - හති වැටිච්ච ජීවිතය " මැයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කළ, ඇඹිලිපිටිය නගරයේ සෆායා ශාලාවේ දී අද පැවති සම්මන්ත්‍රණයේ දී ය.
එම සම්මන්ත්‍රණයේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ සුජිත් කුරුවිට…
රටේ ජනගහනයෙන් 22.5%ක් ඉන්නෙ දරිද්‍රතා රේඛාවෙන් පහළ
"අපි දන්නවා ජාජබ ආණ්ඩුව බලයට ගෙන ඒම පිටුපස්සේ විශාල ජනතා අභිලාෂයන් ප්‍රමාණයක් තිබුණා. හැබැයි දැන් ආණ්ඩුව බලයට පත් වෙලා අවුරුදු දෙකක් ගතවෙන මොහොතක අපි හැරිලා බැලුවොත් ඒ ජනතා අභිලාෂයන්ගෙන් අල්පයක්වත් තවම ඉටු වෙලා නැහැ. මේ ආණ්ඩුවට ප්‍රශස්ති ගී ගායනා කරන වන්දි බට්ටයො නම් තැන් තැන්වල වාඩිවෙලා ආණ්ඩුව මාර හොඳයි මාර වැඩක් රටට කළා කියලා කියන්න උත්සහ කරනවා. හැබැයි ඒ මාර හොඳේ වාසි ලැබිලා තියෙන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවට ද නැත්තම් එක් සුළු පිරිසකට ද කියලා අපිට හිතන්න වෙනවා.
පහුගිය කාලේ ලෝක බැංකු වාර්තාවල ලංකාව ඉහළ මැදි ආදයම් ලාභී රටක් විදිහට තමයි නම් වුණේ. ඒ වගේම තමයි 2026 පළමු කර්තුව වෙද්දි ලංකාවේ ආර්ථික වර්ධනය වේගය සටහන් වුණේ 5.1% වගේ තත්ත්වයක. නමුත් ප්‍රශ්නය තමයි මේ ආර්ථික වර්ධනයේ ඵල නෙළා ගන්නේ ධනකුවේරයෝ අතළොස්සක් විසින්. අපේ රටේ ජන ගහනයෙන් 22.5%ක් ඉන්නේ දරිද්‍රතා රේඛාවෙන් පහල. ලංකාවේ ජන ගහනයෙන් 33%ක් ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙලෙනවා. මෙහෙම දුප්පත් කමේ අඩියටම වැටුණු ජනතාවගේ කරපිටට විශාල බදු බරකුත් මේ ආණ්ඩුව පටවලා. ලංකාවේ සාමාන්‍යෙන් රුපියල් ලක්ෂයක මාසික ආදායමක් ලබන පවුලක් රුපියල් 28,000ක් පමණ බදු විදිහට ගෙවනවා. මේ ආණ්ඩුව බලයට එන්න කලින් කිව්වා කන බත් පතට බොන බෙහෙත් පෙත්තට බදු ගහන්නෑ කියලා. අපි දැක්කා අනුර රූපවාහිණී වැඩසටහන්වලට ඇවිත් අහනවා ඉස්කෝලේ යන ළමයා අකුරු ලියන පොතට පෑනට බදු ගහන්න ලැජ්ජ නැද්ද කියලා. හැබැයි අද ඒ ඔක්කොම කතා ආණ්ඩුවට අමතක වෙලා.
රටේ දරුවන්ගෙන් 42.3ක් බහුවිධ දරිද්‍රතාවෙන් පෙලෙනවා
දැන් ආණ්ඩුව තීරණයක් අරගෙන තියනවා දවසක ආදායම රුපියල් ලක්ෂයට වැඩි වෙළඳ ආයතනවලට අලුත් බද්දක් ගහන්න. මේ කියන්නේ ලාභය නෙමෙයි සමස්ත ආදායම. අපි හිතමු කොත්තු කඩයක් කියලා. අද කොත්තුවක් රුපියල් 1000ක් කියලා ගත්තොත් කොත්තු 100ක් ගහන්න ඕන ලක්ෂයක් හොයන්න. හැබැයි ඒ රුපියල් 1000 කියන්නේ කොත්තු කඩේ ලාභය නෙවෙයි එතන තියනවා ගෑස්, ලයිට් ආහාර ද්‍රව්‍ය, සේවක කුලිය මේ හැමදේම. එහෙම බැලුවම දවසට කොත්තු සීයක් විකුණන කෙනෙක්ගේ ශුද්ධ ලාභය ඉතාම සොච්චමයි. අණ්ඩුව ලැජ්ජ නැතුව ඒ අමාරුවෙන් හොයාගන්න සොච්චමත් බදු විදිහට හූරං කන්න ලැස්ති වෙනවා. මේකද ජනතාව බලාපොරොත්තු වුණ වෙනස. ?
යුන්සෙෆ් සංවිධානය කියන විදිහට අපේ රටේ දරුවන්ගෙන් 42.3ක් බහුවිධ දරිද්‍රතාවෙන් පෙලෙනවා. ආසියාවේ වැඩිම විදුලි බිලක් එන රටවල් අතර අපේ රට ඉන්නේ පළමු හරියේ. ඒ වගේම තමයි ඉදිරි වසර 10 ඇතුළෙ අපේ රටේ උග්‍ර රැකියා අර්බුදයක් ඇතිවෙන්න නියමිතයි. මේ සියලු තත්ත්වයන්ට වගකියන්න ඕන. පහුගිය කාලේ මේ රට පාලනය කරපු රාජපක්ෂලා, රනිල් වික්‍රමසිංහලා ඇතුළු නවලිබරල් පාලකයෝ. අන්න ඒ පාලන ක්‍රමය වෙනස් කරයි කියලා හිතලා තමයි ජනතාව නව දේශපානලන ව්‍යාපාරයක් බලයට ගෙනාවේ. හැබැයි මේ ආණ්ඩුවත් දැන දැනම රනිල් අටවපු IMF ආර්ථික උගුල අස්සට තව තවත් රට ඇදගෙන ගියා. දැන් ඒ ආර්ථික උගුල හිරවෙන්න පටන් අරගෙන. එහි ප්‍රතිඵල තමයි අපිට මේ අත්විදින්න වෙලා තියෙන්නේ.
ඇමරිකාවයි ඉන්දියාවයි මේ ආණ්ඩුවේ කට බැඳලා
දැන් ආණ්ඩුව උත්සහ කරනවා මේ ඇතිවෙන්න නියමිත ආර්ථික අර්බුදය එල්නිනෝ වගේ දේශගුණික ප්‍රශ්න පිට දාලා ගැලවෙන්න. අනිත් අතට ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණු විපක්ෂය දතකට මැදගෙන ඉන්නේ මේ අර්බුදය හමුවේ නැවත වටයකින් බලය ඩැහැගන්න. අපි මේ රටේ ජනතාව විදිහට මේ දෙපාර්ශවයේ ම කෙරුම් ගැන අවබෝධයෙන් ඉන්න ඕන. අපි දන්නවා මේ ආර්ථික ප්‍රශ්නයට ඇත්ත හේතුව තමයි නවලිබරල් සහ IMF ආර්ථික ප්‍රතිපත්තිය. මේ රටේ නිෂ්දන ආර්ථිකය බංකොලොත් කරලා. ගොවියන්ව මහ පාරට ඇදලා දාලා අරගෙන ගියපු ආර්ථික ක්‍රියාවලියේ ප්‍රතිඵල තමයි අපිට මේ විඳින්න වෙලා තියෙන්නේ. දැනටත් මේ රටේ ආර්ථිකය මේ තරමින් හරි ඇදගෙන යන්නේ; මේ තත්වෙන් හරි ඉන්නේ අර කොරියාවේ මැදපෙරදිග මැරීගෙන රැකියා කරන අපේ රටේ දුප්පත් අම්මලා. තරුණ තරුණියෝ එවන ඩොලර් ටිකයි, වතුකරේ අහිංසක අම්මලා තේ දලු කඩලා හොයන ඩොලර් ටිකයි නිසා. අනුර දිසානායකලා පහුගිය කාලේ ඔළුව උඩ තියාගෙන හිටපු ධනකුවේරයෝ හාන්ස්ලා, ධම්මික පෙරේරලා, අර ඉන්දියාවේ ඉන්න අදානිලා, මේ රටේ ආර්ථිකය ගොඩදාන්න කරපු කෙන් ගෙඩියක් නැහැ. මෙන්න මේ තත්වය අපි තේරුම් ගන්න ඕන.
අද මේ ආණ්ඩුව රඳා පවතින්නේ ප්‍රධාන කුලුනු තුනක් මත. ඒ තමයි IMF, ඇමරිකාව සහ ඉන්දියාව. ආණ්ඩුව මුලින් කිව්වේ අනේ රනිල් ගියපු නිසා අපිටත් IMF පාරේ යන්න වෙනවා කියලා. හැබැයි අපිට දැන් පේනවා රනිල් ගිය නිසා නෙවෙයි රනිල්ටත් වඩා කැමත්තෙන් මේ ආණ්ඩුව IMF එකේ කරට අතදාගෙන යනවා. අනිත් පැත්තෙන් ආණ්ඩුව ඉන්දියව එක්ක මේ රටේ ආර්ථික ස්වාධීනත්වය ආරක්ෂාව ඉන්දියාවට පාවා දෙන හොර ගිවිසුම් 7ක් අත්සන් කළා. ඒ ගිවිසුම් අත්සන් කරලා දැන් අවුරුද්දදකට වැඩියි. නමුත් අදටත් ඒ ගිවිසුම්වල තියන එක වාක්‍යක් ජනතාවට කියලා නැහැ. අනිත් පැත්තෙන් ඇමරිකාව එක්ක ආරක්ෂක ගිවිසුම් අත්සන් කළා. ඒ ගිවිසුම් එක්ක තමයි ඇමරිකාව ලංකාවේ මුහුදු සීමාවට ම ඇවිල්ලා ඉරාන නැවකට ගහලා ගියේ. හැබැයි ඒකට විරුද්ධව කටක් හොල්ලන්න ලංකාවේ ආණ්ඩුවට කොන්දක් තිබුණේ නැහැ. මොකද අද ඇමරිකාවයි ඉන්දියාවයි මේ ආණ්ඩුවේ කට බැඳලා ඉවරයි. අන්න දැන් ආණ්ඩුව ජනතාවගේ සංවේදී ජෛවමිතික දත්ත ටිකත් ඉන්දියාවට පවවරන්න යනවා ඩිජිටල්කරණය මුවාවෙන්. අපි දන්නවා මේ යෝජනාව මුලින්ම රාජපක්ෂලා රනිල්ලා ගෙනාව වෙලාවේ ඒකට විරුද්ධව ලොකුම හඬක් නැගුවේ අනුර දිසානායක. හැබැයි අද ඒ අනුරම මෝදිගේ සුවච කීකරු වන්දි බට්ටයෙක් වෙලා මේ රටේ ජනතාවගේ ජෛවමිතික දත්ත ඉන්දියාවට දෙන්න යනවා. මේක ඉතාම අවාසනාවන්ත තත්වයක්.
ඒ නිසා මේ රටේ සියලු ජනතාවට අපි ආරාධනා කරනවා දැන්වත් ඔබ ආණ්ඩු මාරු කරලා මුහුණු මාරු කරලා මේ ආර්ථික ක්‍රමය ගොඩදාන්න පුලුවන් කියන මිථ්‍යා විස්වාසයෙන් අත්මිදෙන්න ඕන. මොන ආණ්ඩුවක් බලයට ආවත් ඒ ආණ්ඩු ගන්න ජනතාද්‍රෝහී තීරණ ආපස්සට හරවන්න පුලුවන් ජනතා බලයක් අපි ගොඩනගන්න ඕන. ගොවියන්ගේ ධීවරයන්ගේ කම්කරුවන්ගේ එකමුතුවක් අපි අතරේ ඇතිවෙන්න ඕන. අන්න ඒ ජනතා බලය හදන්න මැදිහත් වෙමු කියලා අපි මේ රටේ සියලු ජනතාවට ආරාධනා කරනවා.''

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
