Image

සිංහල සාහිත්‍ය ලෝකය පිළිබඳ ව ද, ආසියානු සන්නිවේදනය හා අසියානු සිනමාව පිළිබඳ ව ද නව දැනුමක් නිර්මාණය කළ ප්‍රාඥයා - මහාචාර්ය විමල් දිසානායක (1939-2026)

සිංහල සාහිත්‍ය ලෝකය පිළිබඳ ව ද, ආසියානු සන්නිවේදනය හා අසියානු සිනමාව පිළිබඳ ව ද නව දැනුමක් නිර්මාණය කළ ප්‍රාඥයා - මහාචාර්ය විමල් දිසානායක (1939-2026)

මහාචාර්ය විමල් දිසානායක පේරාදෙණි ගුරුකුලයෙන් බිහි වූ ස්වාධීන සහ තීක්ෂ්ණ බුද්ධියෙන් යුතු විද්වතකු බව ප්‍රකට ය.

ප්‍රථම උපාධිය සඳහා සිංහල, සංස්කෘත සහ ඉංග්‍රීසි ද ආචාර්ය උපාධිය සඳහා ඉංග්‍රීසි සාහිත්‍යය ද පශ්චාත් ආචාර්ය උපාධි අධ්‍යයනය සඳහා සන්නිවේදනය සහ සිනමාව ද විෂය කරගත් ඔහු කවියකු, විශිෂ්ට සාහිත්‍ය විචාරකයකු මෙන් ම මේ රටේ සන්නිවේදන විෂයයෙහි පුරෝගාමී විද්වතකු ලෙස කටයුතු කළේ ය.

ආසියානු සිනමාව සහ සන්නිවේදනය පිළිබඳ ලොව ප්‍රමුඛතම විද්වතකු ලෙස…

 

1979 දී හවායි සරසවියේ 'ඊස්ට්-වෙස්ට්' ආයතනයට පත්වීමක් ලැබ විදේශගත වූ ඒතුමා, එතැන් පටන් සිදු කළ පර්යේෂණ සහ ලොව විවිධ විශ්වවිද්‍යාලයීය මුද්‍රණාල මගින් පළ කළ ශාස්ත්‍රීය පොත-පත හමුවේ ආසියානු සිනමාව සහ සන්නිවේදනය පිළිබඳ ලොව ප්‍රමුඛතම විද්වතකු ලෙස පිළිගැනීමට ලක්වීය.

එලෙස විදේශගත වීමෙන් දශක දෙකකට ද වැඩි කාලයකට පසු ඔහු නැවතත් සිංහල පාඨකයින් හමුවට පැමිණියේ සිය දැනුම සිංහල පාඨක ලෝකයේ අභිවෘද්ධිය වෙනුවෙන් යොදවන ලෙස අප, විසිදුනු ප්‍රකාශකයන්, කළ ඉල්ලීම පිළිගනිමින් රචනා කළ 'පශ්චාත් නූතනවාදය: කෙටි හැඳින්වීමක්' (2002) හා 'නව විචාර සංකල්ප: ඥාන ක්ෂේත්‍රයෙහි ප්‍රවණතා' (2004) යන කෘති ද්වය සමගිනි. ඉන් අනතුරුව නවීන චින්තන ධාරා ඔස්සේ සිංහල සාහිත්‍ය ලෝකය විමර්ශනයට ලක් කෙරුණු 'Enabling Traditions: Four Sinhala Cultural Intellectuals' (2005) හා 'Sinhala Novel and The Public Sphere: Three Illustrative Moments' (2009) කෘති රචනා කළ ඔහු, මෙහි දී යළිත් වතාවක් නවීන විචාර චින්තාවලි පාඨකයා හමුවට ගෙනඑන අතර ම සිංහල සාහිත්‍ය ජයග්‍රහණ ඒ අනුව විමර්ශනයට බඳුන් කළේ ය. ඒ හා සමග ම සිංහල සමාජයේ බුද්ධිමතුන්, නිර්මාණකරුවන් වඩා පුළුල් පාඨක සමාජයකට අභිමුඛ කළේ ය. අනතුරුව 2012 වසරේ එළිදැක්වූ 'නිහඬ නිම් වළල්ල' කෘතියෙහි ලා සාහිත්‍යය සහ ඉතිහාසය අතර සබැඳියාව විෂද කළේ ය.

wimldisanayake

 

විමල් දිසානායක ප්‍රකට කළ බහුශ්‍රැතභාවය

මහාචාර්ය විමල් දිසානායක නිරන්තරයෙන් ම නව ඥාන ධාරා සම්බන්ධයෙන් උනන්දු වෙමින් හැදෑරීම්හි යෙදුණේ ය; ඒ ඥාන ගවේෂණ මගින් උකහාගත් දැනුම, සිය සිසුන් සහ, පාඨකයින් සමග බෙදාහදාගත් ශාස්ත්‍රඥයෙක් වූයේ ය. එහෙත් එ තුමා සුවිශේෂී වූයේ, ඒ නව ඥාන ධාරා වෙනත් අධ්‍යයන සඳහා නිර්මාණාත්මක ලෙස යොදාගනිමින් ප්‍රකට කළ බහුශ්‍රැතභාවය හේතුවෙනි.

2004 වසරේ දී ප්‍රකාශයට පත් කෙරුණු 'සුවහස් නය මනැසි ඉසිවරයාණෝ: කුමාරතුංග මුනිදාස' ශාස්ත්‍රීය සංග්‍රහයට කුමාරතුංග මුනිදාස ගේ භාෂා-ශාස්ත්‍රීය සේවය අළලා ලිපියක් සම්පාදනය කරන ලෙස අප කළ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස එ තුමා සැපයූ, 'භාෂා දර්ශන ප්‍රභේද හා කුමාරතුංග චින්තනය' යන ලිපිය මේ සම්බන්ධයෙන් කදිම නිදසුනකි.

එකී ලිපිය එ තුමා ආරම්භ කළේ මෙ පරිදි ය: "මේ ලිපිය කොටස් දෙකකින් යුක්ත ය. පළමු වැනි කොටසෙහි වර්තමාන බටහිර භාෂා දර්ශන පිළිබඳ කෙටි විග්‍රහයක් ඇතුළත් ව ඇත. දෙ වැනි කොටසෙහි කුමාරතුංග මුනිදාසයන් ගේ භාෂා චින්තනය පිළිබඳ විමර්ශනයක් ඇතුළත් ව ඇත. වර්තමාන බටහිර භාෂා දර්ශන පිළිබඳ විශ්ලේෂණය කුමාරතුංග චින්තනයෙහි විශේෂත්වය විශද කිරීමට හේතු වෙතැ යි සිතමි."

ඒ අනුව එ තුමා පළමු වන කොටසෙහි දී පූර්ව සොක්‍රටීස් යුගයෙහි සිට පශ්චාත් සංස්ථිතිකවාදීන්, පශ්චාත් නව්‍යවාදීන් දක්වා බටහිර භාෂා දර්ශන ප්‍රභේද විමසමින්, විග්‍රහ කරමින්, ඒ සියල්ල මූලික ප්‍රභේද හයකට ගොනු කර, ඒ ඒ ප්‍රභේදයේ සාරතා, ඌනතා හා ආකෘතිය ගෙනහැර දක්වා ඇත. දෙ වැනි කොටසේ දී මහාචාර්යතුමා, ඉහත අධ්‍යයනය පාදක කරගනිමින් කුමාරතුංග මුනිදාස ගේ භාෂා චින්තනය විශද කිරීමේ නියැළේ. එ මගින් මෙ තුමා කුමාරතුංග ඉහත බටහිර භාෂා දර්ශන සියල්ලට වෙනස් ව, "භාෂාව සාරවත් වූත් සුශික්ෂිත වූත් ජීවිතයකට අදාළ අධ්‍යාත්මික බලවේගයක්" ලෙස දුටු බව විශදකර පෙන්වා දුන්නේ ය.

prof

‘ඉහත නිදසුනින් විශද වන පරිදි විමල් දිසානායක සම්මානිත මහාචාර්යතුමා නූතන දැනුම සිංහල පාඨක සමාජය වෙත ගෙන ආ විද්වතකු පමණක් නොවේ; ඒ නූතන දැනුම යොදාගෙන සිංහල සාහිත්‍ය ලෝකය පිළිබඳ ව ද, ආසියානු සන්නිවේදනය හා අසියානු සිනමාව පිළිබඳ ව ද නව දැනුමක් නිර්මාණය කළ ප්‍රාඥයෙකි.’

(පසුගිය 6 වන දා සිදුවූ මහාචාර්ය විමල් දිසානායක වියතාණන් ගේ අහාවය නිමිත්තෙනි)

 

Gevindu Kumaratunga

 

 

 

සටහන - ගෙවිදු කුමාරතුංග

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න