වියපත් කලාකරුවන්ට සහනයක්

වියපත් කලාකරුවන්ට සහනයක්

වියපත් කලාකරුවන් මුහුණ දෙන අපහසුතාවලට පිළියම් ලබාදෙන බව අග්‍රාමාත්‍යවරයා ඊයේ (08) අරලිය ගහ මන්දිරයේ පැවැති උත්සවයට එක් වෙමින් පැවසීය.

ටවර් හෝල් රඟහල පදනම මගින් ක්‍රියාත්මක කරනු ලබන වියපත් කලාකරුවන් සඳහා විශ්‍රාමික ජීවනාධාර ලබාදීමේ වැඩසටහන සඳහා අලුතින් ඉල්ලුම් කර ඇති කලාකරුවන් ඇතුළත් කර ගැනීමත්, ඔවුන්ට අලුත් අවුරුදු ත්‍යාග පිරිනැමීමත් මෙහිදී සිදු කෙරිණි.

මාසිකව රු.7,500/- ක විශ්‍රාමික ජීවනාධාරයක් තෝරාගත් වියපත් කලාකරුවන් 102ට ලබාදීම සිදුකෙරුණි. එම දීමනාව රු.10,000/- දක්වා වැඩිකිරීමට ටවර් හෝල් රඟහල පදනමේ සභාපති, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ටවර් හෝල් රඟහල පදනමේ භාරකාර මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව මෙම මස සිට ටවර් හෝල් රඟහල පදනම මඟින් වියපත් කලාකරුවන් 122ට රු රු.10,000/- ක් බැගින් වූ විශ්‍රාමික ජිවනාධාරයක් ලබා දේ.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා

මෙරට සංස්කෘතියට, විවිධ කලා ක්ෂේත්‍රවලට පණ දුන් ඔබ යළි හමුවීම සතුටක්. ඔබ සමග ඔබගේ තරුණ විය පහු වී තිබෙනවා. ටවර් හෝල් පදනම ඔබට ගෞරවය දක්වනවා වගේම ඔබගේ ජීවිතයට පහසුවක් එක් කිරීමේ බලාපොරොත්තු ඇතුව ආරම්භ කරන ලද මෙම ක්‍රියාදාමය ඉදිරියේ තවත් වැඩි දියුණු කිරීමට හැකි වෙයි කියලා අපි විශ්වාස කරනවා.

කලාකරුවන් මුහුණදෙන ආර්ථික අපහසුතාවන් පිළිබඳව සාකච්ඡා කළ භාරකාර මණ්ඩලය, එම අපහසුතාවයන් යම්තාක් දුරකට හෝ මඟ හරවා ගැනීමට විශ්‍රාමික ජීවනාධාරය වැඩි කිරීමට තීරණය කළා. ඒ පවතින ආර්ථික අර්බුද හමුවේයි. අපහසුතා ඇති තවත් කලාකරුවන් ඉදිරියේදී මෙම විශ්‍රාමික ජීවනාධාර වැඩසටහන සඳහා එක් කර ගැනීමට හැකි වෙයි.

විවිධ ක්ෂේත්‍ර ඔස්සේ කලාව පණ පෙවූ අපේ රටේ කලාකරුවන් ඈත එපිට ගම්මානවල සිට අද ඇවිත් සිටිනවා. ඔවුන් වෙනුවෙන් අලුත් අවුරුදු උත්සවය සැමරීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ඇතුළත් ත්‍යාග පිරිනැමීමට ටවර් හෝල් රඟහල පදනම වාර්ෂිකව කටයුතු කිරීම අගය කොට යුතුයි. ඔබ සැමට රජයේ ගෞරවය යළිත් පුද කරනවා.

මෙම අවස්ථාවට අමාත්‍ය විදුර වික්‍රමනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ, ටවර් හෝල් රඟහල පදනමේ භාරකාර මණ්ඩල සාමාජිකයින්, ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී. එම්. එස්. දිසානායක හා කලාකරුවන් රැසක් සහභාගි වූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න