පර්චස් 10ට වැඩි ගෙවතු වගා සඳහා රුපියල් ලක්ෂ 02ක්

පර්චස් 10ට වැඩි ගෙවතු වගා සඳහා රුපියල් ලක්ෂ 02ක්

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය විශාල වැඩකොටසක් සිදුකරමින් සිටින බවත්, මේ වන විට පර්චස් 10ට වැඩි ගෙවතු වගා සඳහා රුපියල් ලක්ෂ 02ක උපරිමයකට යටත්ව මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට සැලසුම් කර ඇති බවත් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා  පැවසීය.

ඒ වෙනුවෙන් රුපියල් මිලියන 232ක මුදලක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් වෙන් කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඔහු  මෙම අදහස් පළ කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (12) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය,

මේ වන විට අප දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී නැඟීසිටිමින් සිටින රටක්. පසුගිය කාලයේ කෘෂිකර්ම කේෂ්ත්‍රයේ ද විශාල අර්බුද රැසකට මුහුණ දුන්නා. නමුත් දැන් එම තත්ත්වය වෙනස් වෙමින් තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය ද රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට විශාල වැඩකොටසක් සිදු කරමින් සිටිනවා. ඒ හමුවේ රටේ ආර්ථිකය මෙන්ම කෘෂිකර්මාන්තයද පෙර තිබූ තත්ත්වයට වඩා වර්ධනයක් අත්කර ගනිමින් තිබෙනවා.

කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී අපේ ගොවි ජනතාවගේ අස්වැන්න වැඩි කර ගැනීමද ඉතා වැදගත්. ඔවුන් මාස කිහිපයක් තිස්සේ දැඩි වර්ෂාවකට මුහුණ දුන්නා. එහිදී ගංවතුර තත්ත්වය නිසා ගොවීන්ගේ අස්වැන්නට හානි සිදුවෙයි කියා සැකසංකා ඇතිව තිබුණත්, මේ වන විට ලැබී ඇති තොරතුරු අනුව මාස් කන්නයේ සහල් මෙට්‍ර්ක් ටොන් මිලියන 3.6ක අස්වැන්නක් ලැබීමට නියමිතයි. අපේ රටේ වාර්ෂික සහල් අවශ්‍යතාවය මෙට්‍ර්ක් ටොන් මිලියන 2.4ක්. ඒ අනුව මෙය සතුටු විය හැකි තත්ත්වයක් බව කිව යුතුයි.

ඉදිරියේදී නියඟයක් ඇති විය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා. එම නිසා හැකි තරම් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කළ යුතුව තිබෙනවා. යල කන්නයේ හෙක්ටයාර් 512,000ක් වගා කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ වගා කටයුතු සඳහා ජලය පරිස්සමින් භාවිතා කළ යුතුයි.

ඒ වගේම අතරමැදි බෝගවලට යොමු වෙන ලෙස ගොවීන්ට උපදෙස් දී තිබෙනවා. එහිදී මුං, ඉරිඟු, අර්තාපල් වැනි වගාවන්ට යොමු විය යුතුයි. මේ කටයුතු සිදු කිරීමේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විශාල වැඩකොටසක් සිදු කරන බව ද කිව යුතුයි.

තවද මේ වන විට නව වී ප්‍රභේද රැසක් හඳුන්වා දී තිබෙනවා. විශේෂයෙන්ම බතලගොඩ වී පර්යේෂණ ආයතනය නව වී ප්‍රභේද හඳුන්වාදීමේ ව්‍යාපෘතිය ඉතා සාර්ථකව සිදුකරමින් සිටිනවා. නව වී ප්‍රභේද හඳුන්වා දෙන ආයතන තුළ තමයි මේ රටේ ජීවය තිබෙන්නේ.

වී වගාවට අමතරව මිරිස්, බණ්ඩක්කා, දෙළුම්, අඹ වැනි නව බෝග ප්‍රභේද රැසක් මේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට කෘෂි පර්යේෂණ අංශ විසින් හඳුන්වා දීම ද සතුටට කාරණයක්. ඒ වගේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ නිර්දේශ මත පර්චස් 10කට වැඩි ගෙවතු වගා සඳහා රුපියල් ලක්ෂ 2ක උපරිම මුදලකට යටත්ව ප්‍රතිපාදන ලබාදීමට කටයුතු සැලසුම් කර තිබෙනවා.

ඒ වෙනුවෙන් රුපියල් මිලියන 232 මුදලක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් වෙන් කර තිබෙනවා. ගොවිතැන් වගා කටයුතු අප රටේ වාරි පද්ධතිය සමඟ බැඳී තිබෙනවා.

ගොවීන්ට අවශ්‍ය ජලය අඛණ්ඩව ලබා දීමේ අරමුණින් කුඩා වැව් ඇතුළු වාරි පද්ධතිය ශක්තිමත් කිරීමට රුපියල් මිලියන 425ක් වෙන් කර තිබෙන බව පැවසිය යුතුයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න