IMF සියලු කටයුතු විනිවිදභාවයෙන් : ජනපතිගෙන් විපක්ෂයට සහතිකයක් !

IMF  සියලු කටයුතු විනිවිදභාවයෙන් : ජනපතිගෙන් විපක්ෂයට සහතිකයක් !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැඳවා තිබු විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම සාකච්ඡාව සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් ද එක්ව සිටි අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡාවලදී සියලුම පාර්ශ්වයන් එකඟ වන තීරණවලට එළැඹීම වෙනුවෙන් රජයේ කැපවීම මෙහිදී අවධාරණය කෙරිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මෙහිදී සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිදු කර ඇති විශ්ලේෂණාත්මක දත්ත සහිත වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවයි.

මෙම සියලු කටයුතු විනිවිදභාවයෙන් පවත්වාගෙන යාම රජයේ අරමුණ බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ , අදාළ විශ්ලේෂණාත්මක දත්ත වාර්තා මෙම සාකච්ඡාව සඳහා සහභාගි වූ දෙමළ ජාතික සන්ධානයටත්, පාර්ලිමේන්තුවටත් ලබා දීමට කටයුතු කරන බව සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අඛණ්ඩව කටයුතු කිරීම රජයේ අපේක්ෂාව බව වැඩිදුරටත් සඳහන් කළ ජනාධිපතිවරයා මෙම යෝජනා පිළිබඳ තවදුරටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීම සඳහා සුමන්තිරන් මන්ත්‍රීවරයා ඇතුළු අනෙකුත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට සාකච්ඡාවකට ආරාධනා කරන බව ද පැවසීය.

එම සාකච්ඡා සඳහා සහභාගි වීමට සුදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් සඳහන් කළ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනේ දී රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන සාධනීය සහ නිවැරදි වැඩපිළිවෙලක් වෙනුවෙන් තම සහාය ලබාදෙන බවද පැවසීය.

ද්විපාර්ශ්වික ණය හිමියන්, වාණිජ ණය හිමියන් සහ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමඟ සිදු කෙරෙමින් පවතින සාකච්ඡා පිළිබඳ මහා භාණ්ඩාගාරයේ ලේකම් මහින්ද සිරිවර්ධන විසින් මෙහිදී පුළුල් පැහැදිලි කිරිමක් සිදු කළ අතර මෙම වසරේ ජූනි මාසය අවසන් වන විට මෙම සාකච්ඡා මාලාව අවසන් කිරීමට අපේක්ෂා කරන බව ද පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පාලන විනිශ්චය සම්බන්ධයෙන් වන වාර්තාව මඟින් ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා රජය කටයුතු කරමින් සිටින බවත් ඒ සඳහා පුළුල් ව්‍යුහාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට කැපවී සිටින බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසීය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ හා රංජිත් සියඹලාපිටිය, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

WhatsApp Image 2024 03 11 at 17.29.04

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න