විභාගවලින් දැනුම මැන බැලිම නතර කිරීමටත්, පාසල් දරුවන්ගේ පොත් බෑගයේ බර අඩු කිරීමටත් පියවර

විභාගවලින් දැනුම මැන බැලිම නතර කිරීමටත්, පාසල් දරුවන්ගේ පොත් බෑගයේ බර අඩු කිරීමටත් පියවර

තරගකාරී පසුබිමක් ගොඩනගා ගනිමින් විභාගවලින් සමත් කරවීම පිණිස පමණක් දරුවන් පාසල් යැවීම නොකළ යුතු බවට අධ්‍යාපන ඇමැතිවරයා අවධාරණ කර තිබේ.

දරුවන් දැනුමෙන් ආකල්පවලින් මෙන්ම කුසලතාවන්ගෙන් සන්නද්ධ කරවීම අධ්‍යාපනයේ පරමාර්ථ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේ‍මජයන්ත 2024 වර්ෂයේ පළමු ශ්‍රේණියට පිවිසෙන දරුවන් වෙනුවෙන් ක්‍රියාකාරකම් පාදක වාචික ඉංග්‍රීසි (ABOE - Activity Based Oral English) වැඩසටහන පාසල් වෙත හඳුන්වාදීම පිණිස මහරගම ධර්මාශෝක විද්‍යාලයේ පැවති ජාතික වැඩසටහනට එක්වෙමින් කියා සිටියේය.

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් අවධාරණය කරනු ලබන්නේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා දරුවා අත්පත් කරගන්නා කුසලතා මැන බැලීම බවද ඇමැතිවරයා පැවසීය.

දිවයිනේ සියලූ‍ පාසල්වල පළමුවන සහ දෙවන ශ්‍රේණියේ සිසු දරුවන් තුළ ඉංග්‍රීසි කථන සහ සවන් දීමේ කුසලතා ඇති කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක්‍රියාකාරකම් පාදක වාචික ඉංග්‍රීසි වැඩසටහන හඳුන්වා දී ඇති අතර මේ වසරේ පළමු ශ්‍රේණියට පිවිසෙන දරුවන්ට එම වැඩසටහන හඳුන්වාදීම සෑ‍ම පාසලක් තුළම මාර්තු 04 වැනිදා සිදුවිය.

විධිමත් භාෂාවක් ලෙස පාසල්වල තුන්වන ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි උගන්වනු ලැබුවද දරුවන්ගේ ඉංග්‍රීසි කථන කුසලතා ප්‍රාථමික අධ්‍යාපනයේ පළමු ප්‍රධාන අවධියේ සිට ලබාදීම කාලීන අවශ්‍යතාවක් ලෙස හඳුනාගෙන ඇති බව ඇමැතිවරයා පැවසීය.

ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ පාසල් විෂය මාලාවෙහි සිදුවන යාවත්කාලීන වීම් සහ වැඩිදියුණු වීම් සමග දරුවන් එක් කිරීමට මෙම වැඩපිළිවෙල ඉතා වැදගත් වනු ඇති බවට අධ්‍යාපන ඇමැතිවරයා විශ්වාසය පළ කර ඇත.

1 සහ 2 ශ්‍රේණිවල ප්‍රාථමික ගුරුවරුන් ක්‍රියාකාරකම් පාදක වාචික ඉංග්‍රීසි ඉගැන්වීම වෙනුවෙන් සූදානම් කරවීම පිණිස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පුහුණු වැඩසටහන් ක්‍රියාවට නංවා ඇති බවත් මේ යටතේ ගුරුවරුන් 13800 ක් දැනටමත් පුහුණු කර අවසන්ව ඇති බවද ඔහු සඳහන් කළේය.

මතබේදයට තුඩු දී තිබෙන පාසල් වාර විභාගවල ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන් ද අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේ‍මජයන්ත අදහස් දක්වනු ලැබීය.

ප්‍රශ්න පත්‍ර පිට කළ අයගේ සදාචාරාත්මක මට්ටම පවා අවබෝධ කරගත යුතු බව පෙන්වා දුන් අතර, ඉදිරි සතිය තුළ පළාත් බලධාරීන් සමග සාකච්ඡා කොට මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීම වෙනුවෙන් ගත හැකි ඉදිරි පියවර ක්‍රියාවට නංවන බවට සහතික විය.

පාසල් දරුවන්ගේ පොත් බෑගයේ බර අඩු කිරීමටත්, විභාග තුළින් පමණක් දරුවන්ගේ දැනුම මැන බැලීම නතර කිරීමටත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් තමා අපේක්‍ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේ‍මජයන්ත වැඩිදුරටත් කියා සිටියේය.susil

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න