ජනාධිපති ශිෂ්‍යත්ව 2024/25” සඳහා අයදුම්පත් කැඳවයි !

ජනාධිපති ශිෂ්‍යත්ව 2024/25” සඳහා අයදුම්පත් කැඳවයි !

විවිධ ආර්ථික දුෂ්කරතා හමුවේ අධ්‍යාපනය ලබන පාසල් සිසු දරුවන්ට දිරියක් ලබාදීමේ අරමුණින් ශිෂ්‍යාධාර ලබාදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක “ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන 2024/2025” සඳහා සුදුසුකම්ලාභීන්ගෙන් අයදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ වී තිබේ.

ඒ අනුව ජනාධිපති අරමුදලේ නිල ෆේස්බුක් පිටුව වන www.facebook.com/president.fund ඔස්සේ හා ජනාධිපති අරමුදලේ නිල වෙබ් අඩවිය වන www.presidentsfund.gov.lk ඔස්සේ අයදුම්පත, උපදෙස් පත්‍රිකාව සහ සියලුම තොරතුරු භාෂා තුනෙන්ම ලබා ගැනීමේ හැකියාව පවතින අතර නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2024.03.20 වන දිනට ප්‍රථමව අදාළ ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිවරයා වෙත භාරදීම අත්‍යාවශ්‍ය වේ.

මෙම ශිෂ්‍යත්වලාභීන් තෝරා ගැනීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කලාප / පළාත් අධ්‍යාපන කාර්යාල වෙත හා දිවයිනේ සියලුම රජයේ පාසල්වල විදුහල්පතිවරුන් වෙත විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර එම චක්‍රලේඛය අනුව එක් එක් පාසලින් සුදුසුකම්ලත් සිසු දරුවන් තෝරාගැනීම කලාප සහ පළාත් අධ්‍යාපන බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ එම පාසලේ විදුහල්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් සැදුම්ලත් කමිටුවක් මඟින් සිදු කෙරේ.

මෙම කමිටු මඟින් චක්‍රලේඛයෙහි සඳහන් සියලුම නිර්ණායක සහ විධිවිධාන සැලකිල්ලට ගනිමින් සුදුසුකම්ලාභීන් තෝරාගැනීම සිදු කළ යුතු අතර මෙම ක්‍රියාවලියේදී කමිටු සාමාජිකයින් පූර්ණ විශ්වාසනීයත්වයෙන් හා විනිවිදභාවයෙන් යුතුව කටයුතු කරනු ඇතැයි ජනාධිපති අරමුදල අපේක්ෂා කරයි. තවද මෙම ශිෂ්‍යත්ව වැඩසටහනට අදාළ කිසිඳු අයදුම්පතක් ඍජුවම ජනාධිපති අරමුදල වෙත යොමු කිරීමෙන් වලකින ලෙස ද ජනාධිපති අරමුදල අවධාරණය කර සිටියි.

පාසල් මඟින් තෝරාදෙනු ලබන සුදුසුකම් ලත් ශිෂ්‍යත්වලාභීන්ගේ නාමලේඛනය, අයදුම්පත් සහ විස්තර අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ජනාධිපති අරමුදල වෙත යොමු කිරීමෙන් අනතුරුව 2024 අප්‍රේල් මස සිට ඉදිරි මාස 12ක කාලය පුරා මෙම ශිෂ්‍යාධාර මුදල් ගෙවීමට නියමිත ය.
මෙරට 10,126ක් වූ සමස්ත පාසල් සංඛ්‍යාව ආවරණය කරමින් පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන සිසුන් ලක්ෂයක් (100,000) වෙනුවෙන් මෙම ශිෂ්‍යාධාර ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර සමස්ත වැඩසටහන සදහා ජනාධිපති අරමුදලින් රුපියල් මිලියන 3600ක ප්‍රතිපාදන වෙන් කර තිබේ.

සෑම පාසලකම සිටින ඉතා අවම පහසුකම් යටතේ අධ්‍යාපනය හදාරන දක්ෂ සිසු දරුවන් තෝරාගෙන එම දරුවන් සඳහා පහසුකම් සැලසීම මගින් රටේ දරුවන්ට අඛණ්ඩ පාසල් අධ්‍යාපනයක් ලබාදීමත්, එමඟින් රටේ මානව සම්පත වැඩි දියුණු කිරීම සඳහා ආයෝජනය කිරීමත් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ අපේක්ෂාව බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනයක සඳහන් කර ඇත .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න