බස්නාහිර ආණ්ඩුකාරවරයාට ලංකා ගුරු සංගමයෙන් දෝස් මුරයක්

බස්නාහිර ආණ්ඩුකාරවරයාට ලංකා ගුරු සංගමයෙන් දෝස් මුරයක්

බස්නාහිර පළාතේ අධ්‍යාපන පරිපාලන සේවයේ විශ්‍රාම යාමෙන් පසු බොහෝ දෙනෙකු හට සේවා දිගු ලබා දී හෝ කොන්ත්‍රාත් පදනම මත නිලධාරීන් රඳවාගෙන සිටින බවට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා වෙත චෝදනා එල්ල වී තිබේ.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්ගේ අත්සනින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ අධ්‍යාපන පරිපාලන සේවයේ 1 පන්තියේ නිලධාරීන් 164 ක් අතරික්තව සිටින වාතාවරණයක් තුළ ආණ්ඩුකාරවරයා මෙසේ කටයුතු කර ඇති බවයි.

“බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් මෙසේ සේවා දිගු ලබා දී හෝ විශ්‍රාම යාමෙන් පසු කොන්ත්‍රාත් පදනම මත නිලධාරීන් රඳවාගෙන සිටින්නේ බස්නාහිර පළාත තුළ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 පන්තියේ නිලධාරීන් 164 ක් අතරික්තව සිටින වාතාවරණයක් තුළය. මේ වන විට බස්නාහිර පළාත් අධ්‍යාපන පද්ධතිය තුළ අධ්‍යාපන පරිපාලන සේවයේ 1 පන්තියේ අනුමත නිලධාරීන් සංඛ්‍යාව 244 ක් වන අතර, දැනට තනතුරුවල සිටින නිලධාරීන් ප්‍රමාණය 408 කි. ඒ අනුව ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් 164 ක් අතරික්තව සිටියි.”

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් අත්තනෝමතිකව දේශපාලන හා වෙනත් උවමනාවන් මත මේ ආකාරයට විශ්‍රාමික නිලධාරීන් බස්නාහිර පළාත් අධ්‍යාපන පද්ධතිය තුළ දිගින් දිගටම රඳවා ගන්නා බවට ලංකා ගුරු සංගමය චෝදනා කරයි.

එමෙන්ම ඒ හරහා බස්නාහිර පළාත් අධ්‍යාපන පද්ධතිය තවදුරටත් පිරිහීමට ලක්වන බව මෙන්ම සක්‍රිය සේවයේ සිටින නිලධාරීන්ට එම තනතුරු ලැබීමට තිබෙන අවස්ථාව ද අහිමි වන බවයි ගුරු වෘත්තිය සමිතිය පෙන්වා දෙන්නේ.

මේ තත්වය පිළිබඳව අවධානය යොමු කර දැනට බස්නාහිර පළාත් අධ්‍යාපන පද්ධතිය තුළ සේවා දිගු ලබා සිටින හෝ කොන්ත්‍රාත් පදනම මත සේවයේ යොදවා සිටින නිලධාරීන් ඉවත් කර එම තනතුරු සඳහා සක්‍රිය සේවයේ නිලධාරීන් පත් කරන ලෙස ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් නිකුත් කළ නිවේදනයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න