සජිත්ගේ අවුල රාජිත පෙන්වයි : මහින්දානන්දගේ යෝජනාවත් රනිල් !

සජිත්ගේ අවුල රාජිත පෙන්වයි : මහින්දානන්දගේ යෝජනාවත් රනිල් !

රනිල් ජනාධිපතිවරණයට එන්නේ නෑ ,, නෑ ... කිව්වට මොකද , රනිල්ගේ කැම්පේන් එකත් ඔන්න හීනියට පටන් අරන්.

ජනධිපතිවරනේදී රනිල් ජනාධිපති කරන්න ඕන කියලා, ඇමති ප්‍රසන්න රණතුංග, රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු ලාගෙන් පටන් ගත්තු පබ්ලිසිටි කැම්පේන් එකට අලුතින්ම එකතුවෙලා ඉන්නේ, පොහොට්ටු පක්ෂයේ නායකයෙක් වගේම ප්‍රධාන කතිකයෙක් වෙච්ච, හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ...

පොහොට්ටුවේ බහුතරයකගේ මතය වන්නේ ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයාටම සහාය දීම බව මහින්දානන්ද අලුත්ගමගේ කියනවා.

දැනට තම පක්ෂය ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු නම්කර නොමැති වුනත්, රනිල්ට සහය දෙන්න පොහොට්ටුවට සිද්ධවෙනවා කියලයි මහින්දානන්ද කියන්නේ.

70%තිබු උද්ධමනය වත්මන් ජනාධිපතිවරයා යටතේ 5% ක් දක්වා අඩුවෙලා කියලත් මන්ත්‍රීවරයා කියනවා.

වත්මන් ජනාධිපතිවරයාගෙන් ඇමතිකමක් ඉල්ලීමට නොගියේ තමන් පමණක් බවත් ජනතාවට සේවය කිරීම සඳහා තනතුරු අවශ්‍ය නොවන බවත් අලුත්ගමගේ කියලා තියනවා.

පොහොට්ටුව පැත්තෙන් විතරක් නෙමෙයි , විපක්ෂය ඇතුලේ ඉන්න ට්‍රෝජන් අශ්වයෝත් ඔන්න දැන් දැන් ගේමට බැහැලා.

රනිල් පරද්දනවා නම් රනිල් පරද්දන්න ගේන වැඩපිළිවෙල මීට වඩා හොඳ වෙන්න ඕන කියලා සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න කියනවා.

රාජිත සේනාරත්න ඊයේ (22) මැදියම් රෑ එහෙව් කතාවක් කිව්වේ රූපවාහිනි දේශපාලන සංවාද වැඩසටහනකට එක්වෙමින්

එහිදී දොස්තර රාජිත සේනාරත්න මෙහෙමත් කියල තිබුනා.

'' තරුණයන්ගෙ කොටසක් ඉන්නවා දේශපාලනය අවශ්‍ය නැහැ. ඒ අය ඉන්නෙ වෙනම ලෝකයක. ඒ ඝනය එන්න එන්න වැඩිවෙනවා ලංකාවේ. ලිබරල් විදියට හිතන තව කොටසක් ඉන්නවා. සමාජවාදය ධනවාදය මොකුත් ඒ අයට නෑ. ඒ අතරත් නරක සිතිවිල තියෙන අයත් ඉන්නවා. ඒ අය ජේ.වී.පී එකට දෙනවා කියලා මම හිතන්නෙ නැහැ. තවත් කොටසක් ඉන්නවා විරැකියාවෙන් පෙළෙනවා. කරන රැකියාවට වේතනයක් නෑ කියන කොටසක් ඉන්නවා. ජවිපෙට ආකර්ශනය වෙන්නේ අන්න ඒ අය. රාජපක්ෂලා ගියා, එයා යන කොට වික්‍රමසිංහ ගෙනවා. ඒ ඔක්කොටම ගහන්න අලුත් කෙනෙක් ගේන්න ඕන කියනවා. ගෝඨාභය ගෙනාවෙත් එහෙමයි. මේ එන අයගෙ වැඩපිළිවෙල මොකද්ද කියලා හිතන්නෙ නැහැ. අරයට ගහන්න මෙයා ගේනවා කියනවා.

එන සැරේ මැතිවරණය තනිකර ආර්ථිකය. දරුවට කන්න දෙන්නෙ කොහොමද? ඒ දරුවො ආස දේවල් අරන් දෙන්නෙ කොහොමද කියන තැන තියෙන්නෙ. දරුවන්ට මේ ආර්ථික අර්බුධය තේරෙන්නෙ නැහැ. දෙමාපියන්ට දරුවන්ට දේවල් දෙන්න ඕන. ඒක නැතිවෙනකොට කම්පාවක් වෛරයක් ඇතිවෙනවා. රට තියෙන්නෙ මේ වගේ ව්‍යාකූල තත්ත්වයක.

මොනව උනත් අපේ රටේ ගත්ත තීරණ තියෙනවා. අයි.එම්.එෆ් ගිහිල්ලා මෙච්චර ඉක්මනට බංකොලොත්භාවයෙන් අපි මිදෙමින් ඉන්නවා. නමුත් අපට කලින් බංකොලොත් වෙච්ච රටවල් ගොඩ ඇවිල්ලා නැහැ. අපි ගේනවා නම් මීට වඩා හොඳ වැඩපිළිවෙලක් තමයි ගේන්න ඕන. රනිල් වික්‍රමසිංහ පරද්දනවා නම් අපට මීට වඩා හොඳ වැඩපිලිවෙලක් තියෙන්න ඕන.'' .

රාජිත ඔය නොකිය කියන්නේ රනිල් පරද්දන්න , සජිත්ලට හරිහමන් වැඩපිළිවෙලක් නෑ කියන එක.

කොහොමටත් සජිත්ගේ ආර්ථික වැඩපිළිවෙල මේ වෙනකොට අවිනිශ්චිතයි. මොකද කාලයක් තිස්සේ හර්ෂ, එරාන්, කබීර් කරේ තියලා ඇදලා දුන්න බ්ලූ ප්‍රින්ට් එක සජිත් ප්‍රසිධියේ පැත්තකට විසිකරලා ඉවරයි. ඒ වෙනුවට සජබ ආර්ථික ප්‍රතිපත්තිය නැවත ලියමින් ඉන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශකයා වුනු, නාලක ගොඩහේවා බව ප්‍රසිද්ධ රහසක්. ඒ නිසා ඉක්මනින් සජබ ආර්ථික වැඩපිළිවෙලක් එලියට නොදැම්මොත්, රාජිතලා කියන කතාව සජබ ඇතුලේ තවත් පිරිසක් කියන්න ඉඩ තියෙනවා.

  • දේශපාලන වාර්තාකරු

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න