ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (19) නොබැඳි ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව ඇමතීමට නියමිතව තිබේ.
උගන්ඩාවේ කම්පාලා නුවර පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ 19 වෙනි රාජ්‍ය නායක සමුළුව අද (19) සහ හෙට (20) පැවැත්වීමට නියමිතය.
හවුල් ගෝලීය සමෘද්ධිය සඳහා සහයෝගීතාව පුළුල් කරගැනීම මෙවර සමුළුවේ තේමාව ය.
සමුළුවට සහභාගීවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (18) පස්වරුවේ උගන්ඩාවේ කම්පාලා නුවරට පැමිණ තිබු අතර එහිදී ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස මහත් හරසරින් යුතුව පිළිගෙන තිබුණි.
නොබැඳි ජාතීන්ගේ සමුළුවේ (NAM) 19 වැනි රාජ්‍ය නායක සමුළුව “හවුල් ගෝලීය සමෘද්ධිය සඳහා සහයෝගීතාව පුළුල් කර ගැනීම” යන තේමාව යටතේ ජනවාරි 19 සිට 20 දක්වා උගන්ඩාවේ කම්පාලා නුවර දී පැවැත්වේ.
G77 සහ චීනය 3 වැනි දකුණු සමුළුව ජනවාරි 21 සිට 22 වනදා දක්වා කම්පාලා නුවරදී පැවැත්වෙන අතර මෙවර එහි තේමාව වී ඇත්තේ 'කිසිවෙකු අත් නොහරිමු' යන්නයි.
මෙම සංචාරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සමුළු ද්විත්වයම ඇමතීමට නියමිත අතර, අප්‍රිකානු කලාපයේ සිටින ගෝලීය දකුණේ රටවල නායකයින් සහ නියෝජිතයින් සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිත වේ.
නොබැඳි ජාතීන්ගේ සංවිධානය මේ වන විට සාමාජික රටවල් 120කින් සමන්විත වන අතර බැන්ඩුන්ග් මුලධර්ම මත පදනම් වෙමින් සංවර්ධනය වෙමින් පවතින රටවල අවශ්‍යතා ඉටු කිරීම අරමුණු කර ගනිමින් එය ක්‍රියාත්මක වේ.
ශ්‍රී ලංකාව නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ ආරම්භක සාමාජිකයෙකු වන අතර 1976 සිට 1979 දක්වා එහි සභාපතිත්වය හෙබවීය. 1976 වසරේදී ශ්‍රී ලංකාව නොබැඳි ජාතීන්ගේ 5 වැනි රජයේ නායක සමුළුව සඳහා සත්කාරකත්වය ද ලබා දුන්නේය.
G77 සහ චීනය 3 වැනි දකුණු සමුළුව එහි සාමාජික රටවල් 134 අතර වෙළඳාම, ආයෝජන, තිරසාර සංවර්ධනය, දේශගුණික විපර්යාස, දරිද්‍රතාවය තුරන් කිරීම සහ ඩිජිටල් ආර්ථිකය ඇතුළු ක්ෂෙත්‍රයන්හි සහයෝගීතාව ඉහළ නැංවීම අරමුණු කරගනිමින් පැවැත් වේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය දරන සංවර්ධනය වෙමින් පවතින රටවල විශාලතම සන්ධානය ලෙස, ගෝලීය දකුණේ රටවලට සිය සාමූහික ආර්ථික අවශ්‍යතා ප්‍රකාශ කිරීමට, ප්‍රවර්ධනය කිරීමට මෙන්ම ගෝලීය දකුණේ රටවල් අතර අන්තර් සහයෝගීතාවය ඇතුළුව එක්සත් ජාතීන්ගේ පද්ධතිය තුළ පවතින ජාත්‍යන්තර ආර්ථික ගැටළු පිළිබඳව එක්ව සාකච්ඡා කිරීම වෙනුවෙන් ඉඩකඩ සලසා දීම මෙම සමුළුවේදී සිදු කෙරේ.
ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන ද එක්ව සිටිති.