අභියෝග හඳුනාගෙන එක්ව ජයගමු : ජනපතිගේ නත්තල් පණිවිඩය !

අභියෝග හඳුනාගෙන එක්ව ජයගමු : ජනපතිගේ නත්තල් පණිවිඩය !

අභියෝග රාශියක් තම කර මතට කඩා වැටුණු සමයක නත්තල සමරන අතර රට හමුවේ ඇති අභියෝග සැබෑ ලෙසම හඳුනා ගනිමින් තම වගකීම් ඉටු කිරීමට සියලුදෙනා එක්වෙමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ නත්තල් දිනය නිමිත්තෙන් සිය සුබ පැතුම් පණිවිඩය නිකුත්කරමින් පවසයි .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිකුත්කළ සම්පූර්ණ නත්තල් දින සුබ පැතුම් පණිවිඩය පහත දැක්වෙයි .

නත්තල යනු බලාපොරොත්තුවේ මංගල්‍යයයි. “කඳුළින් සුසුමෙන් පීඩිතව අන්ධකාරයේ ඇවිද ගිය ජනතාව මහත් ආලෝකයක් දුටුහ.” එම බලාපොරොත්තුව අලුත් කරන්නට අප සියළු දෙනාගේ වගකීම් සහ යුතුකම් ඉටු කරමින් රට තුළ නව බලාපොරොත්තු ඇති කරවන නත්තලක් අප සැමට උදා වේවායි පළමුව ප්‍රාර්ථනා කරමි.

දිළිඳුන් සමග වේලක් වළඳන්න’’ යන තේමාව මුල් කර ගනිමින් ගවලෙනේ උපන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමරන අප කිසිදා එම යථාර්ථය අමතක නොකළ යුතු වෙමු.

සකල මිනිස් වර්ගයා පවින් මුදාගනු වස් කුරුසියේ සිය ජීවිතය පූජා කළ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහි කරන නත්තල සැබෑ පරිත්‍යාගශීලි සමයකි. තමන්ට එරෙහි වූවන්ට, තමන්ට වින කළ වූවන්ට සමාව දෙන ලෙසත්, සියළු වෛරයන්, අමනාපයන් ඉවතලන ලෙසත් කිතුනු ආගමික ඉගැන්වීම්වලින් අපට කියා දෙයි.

නත්තල උත්සවශ‍්‍රීයෙන් සැමරීම තුළ බාහිර ආටෝපයක් දිස් වුවද, සැබෑ ලෙසින් ඇතුළාන්තයෙන්, අධ්‍යාත්මිකව අප තුළ යහපත් පරිවර්තනයක් සිදු නොවන්නේ නම් එය සැබෑ අරුත්බර නත්තලක් නොවනු ඇති බව මගේ හැඟීමයි.

අභියෝග රාශියක් තම කර මතට කඩා වැටුණු සමයක අප මෙවර නත්තල සමරන්නෙමු. රට හමුවේ ඇති අභියෝග සැබෑ ලෙසම හඳුනා ගනිමින් තම වගකීම් ඉටු කිරීමට සියලුදෙනා එක්වෙමු යැයි ආරාධනා කරමින් ලෝකවාසී සැමට සාමය, සතුට සපිරි සුබ නත්තලකට සුභාශිංසන එක් කරමි.

රනිල් වික්‍රමසිංහ
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න