ජනපති කියුබා ජනපති හමු වෙයි

ජනපති කියුබා ජනපති හමු වෙයි

“G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා කියුබාවේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සහ කියුබානු ජනාධිපති මිගෙල් ඩියෙස් කැනෙල් බර්මියුඩෙස් (Miguel Díaz-Canel Bermudez)  අතර නිල හමුව කියුබාවේ දී සිදු විය.

කියුබාවේ “විප්ලවයේ මාලිගාව” වෙත ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියුබානු ජනාධිපතිවරයා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙනුවෙන් හමුදා ‍ උත්තමාචාර ද පිරිනැමිණි.

සුහද කතාබහකින් අනතුරුව නායක දෙපල ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක් වූහ.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ පැමිණීම ඉතා ඉහළින් පිළිගන්නා බව සඳහන් කළ කියුබානු ජනාධිපතිවරයා දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වයේ වටිනාකම පිළිබඳව ද සිහිපත් කළේය.

අතීතයේ සිට ශ්‍රී ලංකාව සහ කියුබාව අතර පැවති ශක්තිමත් ජාත්‍යන්තර සහයෝගීතාවය මෙහිදී සිහිපත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  කියුබාවට එරෙහි සම්බාධක ඉවත් කරන ලෙස ඉල්ලා සිටින එක්සත් ජාතීන්ගේ යෝජනාවට ශ්‍රී ලංකාව නිරන්තරයෙන් සහාය දුන් බවත් කියුබාව මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් බහුපාර්ශ්වික වේදිකාවල ශ්‍රී ලංකාවට සහාය ලබා දී ඇති බවත් සිහිපත් කළේය.

ඉදිරියේ දී සෞඛ්‍ය, කෘෂිකර්ම සහ ක්‍රීඩා ඇතුළු ක්ෂේත්‍ර ඔස්සේ දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීම පිළිබඳ නායක දෙපළ දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.

ගෝලීය වශයෙන් උතුරු - දකුණු රටවල් අතර විද්‍යාව, තාක්‍ෂණය සහ නවෝත්පාදන යන ක්ෂේත්‍රයන්හි පවතින පරතරය අවම කර ගැනීම පිළිබඳව ද මෙහිදී නායකයන්ගේ අවධානය යොමු වූ අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ විශේෂඥ දැනුම බෙදා ගැනීම පිළිබඳව ද සාකච්ඡා විය.

ජාත්‍යන්තර කටයුතුවලදී කියුබාවට ශ්‍රී ලංකාවේ සහාය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළ අතර මානව හිමිකම් යෝජනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන බවට කියුබානු ජනාධිපතිවරයා සහතික විය.

එසේම ලබන වසරේදී ශ්‍රී ලංකාවේ සංචාරක නිරත වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ  කළ ආරාධනය කියුබානු ජනාධිපති මිගෙල් ඩයස් කැනල් බර්මියුඩෙස්  විසින් පිළිගෙන තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, කියුබාවේ ශ්‍රී ලංකා තානාපති ලක්ෂිත රත්නායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ බහුපාර්ශ්වික කටයුතු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් රේඛා ගුණසේකර, ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ලංකාදීප

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.