අන්තවාදීන්ගේ උපක්‍රමයන්ට හසු වෙන්න එපා ! - කරු ජයසුරිය

අන්තවාදීන්ගේ උපක්‍රමයන්ට හසු වෙන්න එපා ! - කරු ජයසුරිය

ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සංහිඳියාව බරපතල ලෙස අවදානමකට ලක් කල හැකි සිදුවීම් ගණනාවක්ම පසු ගිය කාලය තුළ වාර්තා වීම පිළිබඳව බලවත් ලෙස කනස්සල්ලට පත් ව සිටින බව පවසන 'සාධාරණ සමාජයක් සහා වන ජාතික ව්‍යාපාරය', රටේ සාමයට හා අන්තර් ආගමික සංහිඳියාවට හානි සිදු විය හැකි කුමන හෝ ක්‍රියාවකට සහය නොදක්වන ලෙසට සමස්ත ජාතියෙන් ඉල්ලා සිටියි.

'සාධාරණ සමාජයක් සහා වන ජාතික ව්‍යාපාරය' වෙනුවෙන් එහි සභාපති හිටපු කරු ජයසුරිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එබව සඳහන් කර ඇත.

අප මාතෘභූමිය මත නැවත ලේ වැඟිරීමකට තුඩු දිය හැකි කිසිදු ක්‍රියාමාර්ගයකට වචන මාත්‍රයකින් හෝ එකඟත්වයක් පළ නොකරන ලෙසට ජාතියේ නාමයෙන්, රටේ අනාගත දරු පරපුරේ නාමයෙන්, එමෙන් ම අහිංසාවාදය පදනම් කරගත් පරමෝත්තම ධර්ම මාර්ගයන්ට අපව යොමු කළ අපගේ ශාස්තෘන් වහන්සේලාගේ නාමයෙන් මෙම ආයාචනය සිදු කරන බව හිටපු කතානායකවරයා කියා සිටියි.

 හිටපු කතානායක කරු ජයසුරියගේ නිවේදනයේ මෙසේද සඳහන් වේ.

 '' ආගමික ඉගැන්වීම් පදනම් කර ගත් සෑම දර්ශනයක්ම හා පූජනීයත්වයෙන් සළකන සෑම ආගමික සංකේතයක්ම සමස්ත මානව වර්ගය සතු වූ පූජනීය උරුමයන් වේ. ඒවා හුදු එක් ජන වර්ගයකට හෝ ආගමික ප්‍රජාවකට පමණක් සීමා වන අයිතිවාසිකමක් හෝ භෞතික වස්තූන් නොවන බව අප සියල්ලන්ම මැනවින් අවබෝධ කරගත යුතුව ඇත. එමෙන් ම පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ඕනෑම භෞතික වස්තුවක් හෝ කලාපයක් සැළකිය යුත්තේ සමස්ත මානව ප්‍රජාවටම සාඩම්බර විය හැකි ලෝක උරුමයක් ලෙසටය.

ජාතියක ප්‍රෟඪත්වය හෝ ආගමක උත්තරීතරත්වය රැඳී පවතින්නේ ඒවා මගින් සමස්ත ලෝකයටම දායාද කරන්නා වූ මහාර්ඝ පුරුෂාර්ථයන් හා මඟපෙන්වීම් මතය. අන්තවාදී, අධිපතිවාදී, හිංසාවාදී සෑම ක්‍රියාකාරකමක් මගින් ම සිදු කරන්නේ එකී මහාසාර ගුණයන් කෙලෙසා දැමීමකි.

එබැවින් තම ආගමට, උපන් රටට, සිය සංස්කෘතික උරුමයන්ට සැබෑ ආදරයකින් කටයුතු කරන සියල්ලන් වෙතින්ම අප ඉල්ලා සිටින්නේ අන්තවාදීන්ගේ උපක්‍රමයන්ට නතු නොවීමට වගබලා ගන්නා ලෙසට ය.තම ආගමට රටට හෝ ජාතියට කිසිදු ආකාරයේ නිගරුවක් නොවන ලෙස කටයුතු කරමින් මතු පරපුරට හෝ යහපත් රටක් උරුම කර දෙනු උදෙසා වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසටය.''

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න