විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයට ජනපතිගෙන් විසඳුමක් !

විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයට ජනපතිගෙන් විසඳුමක් !

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ එළැඹෙන සැප්තැම්බර් මාසය වන විට සාර්ථකව අවසන් කර රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමෙන් පසුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉල්ලා සිටින මූල්‍ය සහනයන් ඇතුළු වරප්‍රසාද පිළිබඳ සලකා බැලීමට රජයට හැකි වනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සමඟ අද (18) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී ය.

සියලු විශ්වවිද්‍යාල නියෝජනය කරමින් අධ්‍යයන කාර්ය මණ්ඩල නියෝජිතයන් මීට එක්ව සිටි අතර වර්තමාන අර්ථික පසුබෑම හමුවේ විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වා ගෙන යාමේ හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මුහුණ පා ඇති ගැටළු සඳහා ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සොයා බැලීම මෙම සාකච්ඡාවේ අරමුණ විය.

විශ්වවිද්‍යාල පද්ධතියේ අත්‍යාවශ්‍ය පුරප්පාඩු හඳුනාගෙන ඒවා පිරවීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී බලධාරින්ට උපදෙස් දුන්නේය.

වාර්ෂිකව විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාවට සාපේක්ෂව පවතින අධ්‍යන පහසුකම් ප්‍රමාණවත් නොවන බව මෙහිදී විශ්වවිද්‍යාල ආචාර්යවරු පෙන්වා දුන්හ.

මේ වන විට පවතින මූල්‍ය ප්‍රතිපාදන සීමාවන් කළමනාකරණය කර ගනිමින් විශ්වවිද්‍යාල පද්ධතියේ පහසුකම් සංවර්ධනය කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ අතර, වෛද්‍ය පීඨ, ඉංජිනේරු පිඨ සහ විද්‍යා පීඨවල පහසුකම් සංවර්ධනයට වැඩි අවධානයක් යොමු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නේය.

දැනට නවතා ඇති විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පර්යේෂණ දීමනාව යළි ලබාදීමට ඇති හැකියාව පිළිබඳ නීතිපතිවරයා සමඟ සාකච්ඡා කර තීරණයකට එළැඹෙන ලෙස ද ජනාධිපතිවරයා බලධාරින්ට දැනුම් දුන්නේය.

රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලදී නවීන ලෝකයට ගැළපෙන සේ නිසි උපදේශනයක් ලබා ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග යන මහත්වරුන් ද මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් ඇතුළු රේඛීය රාජ්‍ය ආයතන ප්‍රධානිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
ජනාධිපති මාධ්‍ය අංශය
2023-05-18

IMG 20230518 WA0001

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න