ජනාධිපති අරඹා ඇති සාර්ථක ගමනට සියලු පාර්ශ්ව සහය දිය යුතුයි - රවී

ජනාධිපති අරඹා ඇති සාර්ථක ගමනට සියලු පාර්ශ්ව සහය දිය යුතුයි - රවී

ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය සාර්ථක ගමනක් ආරම්භ කර තිබෙන බැවින් සියලු පාර්ශ්ව ඊට සහයෝගය දැක්විය යුතුව ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි .

හැමදාම මහා පාරට ඇවිත් උද්ඝෝෂණය කරමින් අවස්ථාවාදී,පටු සහ දේශද්‍රෝහී විපක්ෂය කරන්නේ රට තව තවත් අරාජික කිරීම යැයි ද හිටපු අමාත්‍යවරයා සඳහන් කර සිටියි.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මේ බව සඳහන් කර සිටියේ කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව ජනමාධ්‍යවීදීන් ඇසූ ප්‍රශ්නවලට උත්තර ලබා දෙමින් ය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය .

ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ස්ථානය පාර්ලිමේන්තුවයි. එසේ නම් රටේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට නිතර නිතර පැමිණීම කෙතරම් වටිනවා ද..?

වත්මන් ජනාධිපතිවරයා නිතර පාර්ලිමේන්තුවට පැමිණීම ප්‍රශ්න කරන මෙම අවස්ථාවාදීන් සහ ද්‍රෝහීන් එදා මර හඬ දුන්නේ ජනාධිපතිවරුන් පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ නැතැයි කියමින්. ඔවුන් පාර්ලිමේන්තුවට වග කියන්නේ නැතැයි කියමින් .

හොඳට වැඩ කර ගෙන යන විට මේ රටේ මෙවැනි ප්‍රශ්න මතු කරනවා. මේ මොහොතේ අවශ්‍ය වන්නේ මේ වගේ පටු සහ අවස්ථාවාදී ප්‍රශ්න කිරීම් නෙවෙයි , ජනතාව ජීවත් කරවමින් රට ගොඩනගන්නේ කෙසේද යන්න පිළිබඳවයි. මේ රටේ තිබෙන්නේ කයිවාරුව විතරයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය මුදල සහ සහයෝගය ලබා ගත්තා කියා එක රැයකින් මේ රටේ තිබෙන සියලු ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. නමුත් ඒ ප්‍රශ්න විසඳන්න තිබෙන මාර්ගය විවෘත්ත වනවා. ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ආසියානු සංවර්ධන බැංකුව අපට සහය ලබා දීම සඳහා ඉදිරියට පැමිණි නිසා ඒ අය එක්ක අපට මේ ගමන යා හැකියි. මේ වන විට රටේ ඇති කර තිබෙන මුල්‍ය විනය නිසා එම ආයතනවල සහ ලෝකයේ දියුණු රටවල විශ්වාසය ඇති වී තිබෙනවා.

මේ අභියෝගය ජය ගැනීමට නොහැකි බව විපක්ෂය හැමදාම කිව්වා. මේ රටේ විපක්ෂයට පුළුවන් කිසිවක් නැහැ. ඒ අය දන්නේ සියල්ලට බැහැ-බැහැ කියමින් සහ විවේචනය කරමින් රට-ජනතාව නොමඟ යැවීමට විතරයි. ඕනෑම අභියෝගයක් ජය ගත හැකි බව අප මේ වන විට ඔප්පු කර තිබෙනවා. එදා දහසය වැනි වතාවට මේ රටේ මුදල් ඇමතිවරයා වශයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගියේ මමයි. මෙදා මුදල් ඇමති ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගොස් එම අරමුදලේ සහය ලබා ගනිමින් අපට ඕනෑම අභියෝගයක් ජය ගත හැකි බව ඔප්පු කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. ඒ ගැන අප සතුටු වනවා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඇතුළු ලෝක සංවිධාන ද, දියුණු රටවල් ද අපට ලබා දෙන මෙම සහයෝගය අහිමි නොකර ගෙන අප කළ යුත්තේ අපනයනය වැඩි කරමින් ආනයනය අඩු කර රට සංවර්ධනය කර ජනතාවට උපරිම සහන ලබා දීම බව කිව යුතුයි. අවස්ථාවාදී ලෙස රට පුරා උද්ඝෝෂණය කරමින් සියල්ල කඩාකප්පල් කර ජීවන වියදම අඩු කර රට සංවර්ධනය කරන්න පුළුවන් ද..? එසේ සංවර්ධනය වූ රටවල් ලෝකයේ තිබෙනවා ද..? සංවර්ධිත රටවල් පවා කඩා වැටුණේ මෙවැනි අවස්ථාවාදී, පටු සහ කුමන්ත්‍රණකාරී උද්ඝෝෂණ නිසයි.

ප්‍රජාතන්ත්‍රවාදී සහ එම අයිතීන් ආරක්ෂා කිරීම අවශ්‍යයි. එහෙත් සියල්ලටම සීමාවක් තිබිය යුතුයි. ඒ නිසා අප සියලු දෙනා කළ යුත්තේ මුලින්ම ජනතාව ජීවත් කරවීමයි. කඩා වැටුණු ආර්ථිකයක් යථා තත්ත්වයට පත් කිරීමට හැකි වීම ගැන සතුටු විය යුතුයි. එසේ නොමැතිව හැමදාම මේ වගේ උද්ඝෝෂණය කරන්න ගියාම රටට සංචාරකයින් සහ ආයෝජකයින් පැමිණෙයි ද..?

රටක් හදන්න අවුරුදු ගණනාවක් යනවා. එහෙත් රටක් විනාශ කිරීමට පැයක් යන්නේ නැහැ. ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය සාර්ථක ගමනක් ආරම්භ කර තිබෙනවා. ඒ නිසා සියලු දේශපාලන පක්ෂ, පාට, ජාති සහ ආගම් භේද ඉවතලා රට වෙනුවෙන් එකට එකතු විය යුතුයි

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න