ලංකාවේ බදු වැඩි කිරීම් ගැන IMF විශේෂ නිවේදනයක්

ලංකාවේ බදු වැඩි කිරීම් ගැන IMF විශේෂ නිවේදනයක්

ශ්‍රී ලංකාවේ සිදු කළ බදු ප්‍රතිසංස්කරණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රසාදයට ලක්ව ඇත.

ක්‍රියාත්මක කළ බදු වැඩිකිරීම් මහජනතාවගේ දැඩි විරෝධයට ලක්ව තිබුණ ද ණයහිමියන්ගේ විශ්වාසය නැවත ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ බදු ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බව එම සංවිධානය පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා කාර්යාලයේ, ජ්‍යෙෂ්ඨ ප්‍රධානී පීටර් බෲවර් සහ කාර්යාල ප්‍රධානී මසහීරෝ නොසාකි ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා ඇත.

එහි දැක්වෙන්නේ බදු ආදායම ඉහළ නැංවීමෛන් දිළිඳු සහ වඩාත්ම අවදානමට ලක්වූවන් ආරක්ෂා කරන බවයි. එය ආර්ථික වර්ධනයට ද හිතකර ලෙස ක්‍රියාත්මක කළ යුතු බව අදාළ නිවේදනයේ සඳහන් වේ.

ශ්‍රී ලංකාව තුළ බදු ප්‍රතිපත්තිය ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍ය වූ කාරණයක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) මෙරට කාර්යාලය පවසයි. එය අවශ්‍යවී තිබුණේ බදු ආදායම සහ වියදම් අතර තිබූ අසමතුලිතතාවය නිවරැදි කිරීමට බව එම කාර්යාලය පැවසීය.

බදු ප්‍රතිසංස්කරණය හමුවේ මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ජනතාව අත්විඳින දුෂ්කරතා තමන්ට වැටහෙන බව ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසයි.

ජීවන වියදම වැඩිවීම, රැකියා අහිමිවීම සහ ජීවනෝපාය අහිමි වීම මෙන්ම සැබෑ ආදායම පහත වැටීම ද ජනගහනයෙන් විශාල කොටසකට බලපා ඇත.

විශේෂයෙන්ම මෙම දුෂ්කරතාවලට ඔරොත්තු දීමට නොහැකි දුප්පත් සහ අවදානමට ලක්වූවන්ට ද එමඟින් බලපෑම් එල්ලවී ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසයි.

රාජ්‍ය බදු ආදායම සඳහා සහයෝගයක් දැක්විය හැකි කණ්ඩායම්, අදාළ බදු මුදල් ගෙවීමට ඉදිරිපත් විය යුතු බවත් නව බදු ප්‍රතිපත්තිය ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල බවත් එම නිවේදනයේ සඳහන් වේ

පුද්ගලික ආදායම් බදු සඳහා හඳුන්වාදී ඇති බදු අනුපාතය එම කාරණය සඵල කරගැනීමට අත්‍යවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට කාර්යාලය වැඩිදුරටත් පවසයි. එසේම මෙම ප්‍රතිසංස්කරණ මගින් ණයහිමියන්ගේ විශ්වාසය නැවත ඇති කළ හැකි බවද අදාල නිවේදනයේ සඳහන් වෙයි.

මේ අතර ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට බලපෑ හේතු සම්බන්ධයෙන් ද මෙම නිවේදනය මඟින් කරුණු දක්වා ඇත. එහි එක් හේතුවක් ලෙස දක්වා ඇත්තේ ආදායම් එකතු කිරීම් හරහා රජයේ වියදම් අවශ්‍යතා සපුරාලීමට රජයට නොහැකිවී ඇති බවයි. 2021 දී දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ බදු ආදායම සියයට 7.3 ක් පමණ වී ඇත.

ඒ හේතුවෙන් ලෝකයේ අවම මූල්‍ය ආදායම එකතු කරන රටවල් අතරට ශ්‍රී ලංකාව ද එක්ව සිටින බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසයි. ඔවුන් අවධාරණය කර ඇත්තේ මෙම හිඩැස පිරවීම සඳහා විදේශ ණය හිමියන් මූල්‍ය පහසුකම් සැපයීමට අකමැති බවයි.

අත්‍යවශ්‍ය වියදම් සඳහා අරමුදල් සැපයීමට රජයට හැකි වන්නේ සුදුසු බදු ලැබීම් සමඟ පමණක් බවත්, එමඟින් වියදම් තවදුරටත් කප්පාදු කිරීම වළක්වා ගත හැකි බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිවේදනයේ සඳහන් වේ. මෙම බදු ප්‍රතිසංස්කරණ සමඟ ණය හිමියන්ගේ විශ්වාසය නැවත ලබා ගැනීමට ද උපකාරී වනු ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානියා සහ ශ්‍රී ලංකාවේ දූත මණ්ඩල ප්‍රධානියා ශ්‍රී ලංකාව සඳහා මෙම ප්‍රකාශය නිකුත් කර ඇත්තේ යෝජිත බදු ප්‍රතිසංස්කරණවලට එරෙහිව වෘත්තීය සමිති විසින් ඉකුත් බදාදා දියත් කරන ලද දීප ව්‍යාප්ත වෘත්තිය ක්‍රියාමාර්ගයෙන් පසුව වීමද විශේෂත්වයකි.

(nethnews.lk)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න