එක්සත් ලක් වනිතා පෙරමුණ විසින් "බොරුව පරදවමු සත්‍ය දිනවමු" තේමාව යටතේ සංවිධානය කරන ලද ජාත්‍යන්තර කාන්තා දින සැමරුම සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද (08) පැවැත්විණි.
වර්තමානයේ කාන්තාවන් මුහුණ දී ඇති අසාධාරණ පිළිබඳව ඉදිරිපත් කෙරෙන පෙත්සමකට අත්සන් තැබීම ද මෙහිදි සිදු විය.
දිවංගත හිටපු නායකයින්ට මල්දම් පැලඳවීම සහ එක්සත් ජාතික පක්ෂ රජයන් විසින් මෙතෙක් කල් මෙරටට සිදු කරන සේවය පිළිබඳව අදහස් දැක්වීම එක්සත් ලක් වනිතා පෙරමුණේ සාමාජිකාවන් සහ පක්ෂයේ පළාත් පාලන නියෝජිතවරියන් විසින් සිදු කෙරිණි.
එහිදී ජාත්‍යන්තර කාන්තා දින ප්‍රකාශය එළි දැක්වීම සිදු විය.
එම අවස්ථාවේ දී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්, හිටපු අමාත්‍ය තලතා අතුකෝරළ
වහාම ස්වාධීන කාන්තා කොමිසම පණ ගන්වන්න
''කාන්තා දිනය සැමරීමට වැඩිම අයිතියක් ඇත්තේ ඒක්සත් ජාතික පක්ෂයටයි. කාන්තාවන් වෙනුවෙන් වැඩිම සේවාවක් සිදු කළ පක්ෂය වශයෙන් අද අප අභිමානයෙන් ජාත්‍යන්තර කාන්තා දිනය සමරනවා. පවුලේ බර කරට ගෙන සියලුම දුක් කම්කටොලු දරාගෙන පවුල වෙනුවෙන් යුතුකම් ඉටු කරන්නේ කාන්තාවයි. අප රටේ කාන්තාවන් ගේ අයිතීන් වැඩියෙන් ම තහවුරු කළ නායකයා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යි. එතුමා ජනාධිපතිවරයා වශයෙන් 2023 දි ස්වාධීන කාන්තා කොමිසම් සභාවක් පිහිටෙව්වා. 2024දි එය බලාත්මක වුණා. වර්තමාන ආණ්ඩුවට තවමත් එයට සාමාජිකයන් පත් කර ගන්න බැරි වෙලා තිබෙනවා. ස්වාධින කොමිසම් සභාවක දේශපාලනයක් නැහැ. කිසි කෙනෙකුට ගැති වෙන්න බැහැ. 2016 දී යහ පාලන ආණ්ඩුව යටතේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙවැනි ස්වාධීන කොමිසම් සභා නමයක් පිහිටුවලා කාන්තාවන්ගේ ගැටලුවලට සහන ලබා දෙන්න කාන්තා කොමිසම පිහිටෙව්වා. අද කාන්තාවන්ගේ ගැටලු ගැන බලන්න කාන්තා කටයුතු ඇමතිවරියක් ඉන්නවද? කාන්තා කොමිසමට පත් කළ සභාපතිවරිය අවුරුදු විස්සකට වැඩි කාලයක් කාන්තාවන් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඒක්සත් ජාතින්ගේ සංවිධානයේ වැඩ කළ කාන්තාවක්. ඇය දේශපාලනය කළ කෙනෙක් නෙවෙයි. කාන්තා කොමිසමට පිහිටුවන්න මේ ආණ්ඩුව කාර්යාලයක් සහ අවශ්‍ය මුදල් ලබා නොදුන් නිසා ඇය ඉල්ලා අස් වුණා. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කාන්තාවන් ගේ අයිතිය සුරක්ෂිත කිරීම සඳහා පිහිටවූ ස්වාධීන කාන්තා කොමිසම පණ ගන්වන ලෙස අප ආණ්ඩුවට කියනවා.
මෛත්‍රී වික්‍රමසිංහ ගෙන් පළිගැනීම හෙළා දකිනවා
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය 88/89 වසරවල කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන විට අද බලයේ සිටින අයගේ වැඩ කටයුතු නිසා එහි අධ්‍යාපනය සිදු කරන්න බැරිව ලන්ඩන් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබා පසුව පශ්චාත් උපාධි සම්පූර්ණ කර මෙරට කැලණිය විශ්ව විද්‍යාලයේ වසර 30 ක් කතිකාචාර්යවරියක් , මහාචාර්යවරියක් ලෙස කටයුතු කළ උගත් බුද්ධිමත් කාන්තාවක්. ලෝක නායකයින්ගේ බිරින්දෑවරුන්ගෙන් ඇය වැනි උගත් කාන්තාවන් සිටින්නේ කිහිප දෙනකු පමණයි. මේ රටේ නම් ඇය පමණයි. සිය සැමියා අගමැති ලෙස සිටිය දී ඇය සිය පෞද්ගලික කාරය එළවගෙන කැලණිය විශ්වවිද්‍යාලයේ සේවයට ගියා. ඇය සතයක්වත් අවභාවිතා නොකළ වැදගත් කාන්තාවක්. එවැනි කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම නිවැරදි ද? පළි ගැනීමේ අරමුණින් ආණ්ඩුව කරන මේ උද්ධච්ච ක්‍රියාවට මේ කාන්තා දිනයේ දී අප විරෝධය පළ කරනවා.''
හිටපු රාජ්‍ය අමාත්‍ය රෝසි සේනානායක
අද කාන්තාවන් යළි පෝලිම්වල
''මෙරට ප්‍රථම වතාවට කාන්තා අමාත්‍යාංශය, කාන්තා කාර්යාංශය බිහි කළේ එක්සත් ජාතික පක්ෂය යි. එසේ ම ප්‍රථම අධිකරණ අමාත්‍යවරිය මෙන්ම පක්ෂයක ප්‍රථම මහ ලේකම්වරිය බිහි කළෙත් එක්සත් ජාතික පක්ෂය යි. ඒ වරප්‍රසාදය ලැබුවේ තලතා අතුකෝරළ මහත්මිය යි. එක්සත් ජාතික පක්ෂය ඒ දේවල් සිදු කළේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඉහළින් ම සැලකූ නිසයි. පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය සියයට තිහක් කළ යුතු බවට එවකට මා පාර්ලිමේන්තුවට ගෙන ආ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව 2015 දී යහපාලන ආණ්ඩුව බලයට පැමිණි විට එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කාන්තා නියෝජනය සියයට 25ක් විය යුතු බවට නිති සංශෝධනය කළා. ගැබිණි මව්වරුන්ට රුපියල් 45000ක පෝෂණ මල්ලක් ලබා දුන්නා. පෙර පාසල් ගුරුවරුන් ගේ දීමනාව වැඩි කළා. පෙර පාසල් දරුවන්ට දිවා ආහාරය ලබා දුන්නා. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 13/25 යෝජනාවලිය යටතේ කාන්තා ආරක්ෂාව පිළිබඳව අවුරුදු අටක ජාතික සැලැස්මක් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා සකස් කළා. මේවා දැන් ක්‍රියාත්මක වෙනවා ද යන්න ප්‍රශ්නයක්. කාන්තාවන් එක මිටට එකතු කර පොහොසත් රටක් හදන්න බොරු කියලා බලයට ආ ආණ්ඩව අද කාන්තාවන් යළි පෝලිම්වල තබමින් අසරණ කර තිබෙනවා.''
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිණී වෛද්‍ය තුසිතා විජේමාන්න
මෛත්‍රි වික්‍රමසිංහ ගේ සංකල්පය
''2015 යහපාලන ආණ්ඩු සමයේ දී මෛත්‍රි වික්‍රමසිංහ මහත්මිය ගේ සංකල්පයක් අනුව අප අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ස්ත්‍රී පුරුෂ සමාජබාවය පිළිබඳව පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවක් පත් කළා. එහි දී අදහස් සහ යෝජනා ඉදිරිපත් කරන්න කාන්තාවන්ට ඉඩක් ලබා දුන්නා. උප්පැන්න සහතිකයේ මව්පියන් විවාහක ද යන තීරුව ඉවත් කළේ එම කාරක සභාවේ තීරණයක් මතයි. අවජාතක දරුවන් යන අවමානයෙන් මිදී අභිමානවත් ඉදිරි ගමනක් යන්න එවැනි දරුවන්ට එමගින් අවස්ථාව ලැබුණා. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය කාන්තාවන්ට අයිතිවාසිකම් සහ සමානත්වය ලබා දෙන්න කටයුතු කළ පක්ෂයක්.''
හිටපු පළාත් සභා මන්ත්‍රිණී එක්සත් ලක් වනිතා පෙරමුණේ හිටපු සභාපතිනි ශාන්තිනි කෝන්ගහගේ
කාන්තාවන් ගේ දිළිඳුකම තුරන් කර ඇය ශක්තිමත් කළේ ජේ. ආර්.
''ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා විවෘත ආර්ථිකය හඳුන්වා දෙමින් කාන්තාවන් ගේ දිළිඳුකම තුරන් කර ඇය ශක්තිමත් කළා. කාන්තාවන් පාගපු මහන මැෂිම ලෝක ආර්ථිකය සමග බද්ධ කරන්න කටයුතු කළේ ආර්. ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයා යි. එමගින් පවුලේ ආර්ථිකය ශක්තිමත් කළා. දැවැන්ත අධ්‍යාපන මෙහෙවර මෙන්ම දේශපාලනය තුළ කාන්තා නියෝජනය වැඩි කරන්න රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා කටයුතු කළා. කාන්තාවන් එක මිටට ගේනවා කියපු මේ රජය නිසා අද කාන්තාවන්ට ඉදිරියට යන්න හැකියාවක් නැහැ. සංවර්ධනය, නව රැකියා, සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපනයට අවශ්‍ය පහසුකම් සියල්ල අද එකතැන නතර වෙලා. කිසිම පක්ෂයකට නැති පහසුකම් අපේ පක්ෂය තුළ කාන්තාවන්ට ලබා දී තිබෙනවා.''
රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ඉන්දි අකුරුගොඩ
මෙරට විශ්වවිද්‍යාල 17න් 16ක්ම හැදුවේ එක්සත් ජාතික පක්ෂය
''සියලු කාන්තාවන්ගේ සහ ගැහුනු ළමයින්ගේ අයිතිවාසිකම්, යුක්තිය සහ ක්‍රියාකාරීත්වය වෙනුවෙන් යන්න මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාවයි. අප රට ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සම්මුති ගණනාවකට එකඟ වී තිබෙනවා. 87 සහ 98 සම්මුති මගින් සේවය කරන කාන්තාවන් ගේ අයිති ගැන කියවෙනවා. අප රට මෑතකදී තවත් සම්මුතියකට එළැඹුණා. 190 සම්මුතිය වන එය වැඩ කරන කාන්තාව ලිංගික හිංසනය සහ ප්‍රචණ්ඩත්වයෙන් තොරව වැඩ කිරීමේ අවස්ථාව ලබා දිය යුතු බවයි. මේ සම්මුති ක්‍රියාත්මක කිරීමට නම් ප්‍රතිපත්ති සම්පාදනය කළ යුතුයි. වර්තමාන ආණ්ඩුව මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට යොමු වෙලා නැහැ. පසුගිය දිනවල ඇඳුම් කර්මාන්ත ශාලා දෙකක් වසා දැම්මා. මෙහි සිටි දෙදහසක අධික පිරිසකට රැකියා අහිමි වුණා. ඒ ගැන කිසිම වැඩ පිළිවෙළක් නැහැ.දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වතු කම්කරු කාන්තාවන්ට තවමත් සහන ලබා දී නැහැ. රුපියල් විසි පන්දහසේ දීමනාව ලබා දී නැහැ. මෙවර පාර්ලිමේන්තුවට කාන්තා මන්ත්‍රීවරියන් විසි දෙකක් පත් වුණා. නමුත් ඔවුන් කරන්නේ පිරිමි නායකයින් සිදු කරන වැරදි නිවැරිදි කිරීම නොව ඒ වෙනුවෙන් පෙනී සිටීමයි. මෙච්චර මන්ත්‍රීවරියන් සිටියත් ඔවුන් කාන්තාවන් වෙනුවෙන් හඬ නගන්නේ නැද්ද? මෙරට විශ්වවිද්‍යාල 17න් 16ක්ම හැදුවේ ඒක්සත් ජාතික පක්ෂ රජයන් විසින්. අප රට නිදහස ලබන විට තිබුණේ පේරාදෙනිය විශ්ව විද්‍යාලය පමණයි. මහපොළ ශිෂ්‍යත්ය ලබා දීම ආරම්භ කළේ ඒක්සත් ජාතික පක්ෂය යි. බොහෝ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඒ බව දන්නේ නැහැ.''
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජික ප්‍රවිනා රවිරාජ් ද අදහස් දැක්වූවා ය.
මේ අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, නවීන් දිසානායක, ආනන්ද කුලරත්න, සමන් රත්නප්‍රිය යන අය ද හිටපු අමාත්‍ය සුනේත්‍රා රණසිංහ, අනෝමා ගමගේ, සමන්තා කරුණාරත්න ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


