කාන්තාවන් සතු දේශපාලනික, ආර්ථික සහ සමාජීය අයිතිවාසිකම් හුදෙක් නීති පොත්වලට හෝ ලේඛනවලට පමණක් සීමා නොකර, ඒවා මෙරට සෑම කාන්තාවකගේම සැබෑ ජීවිතය තුළ අත්විඳිය හැකි යථාර්ථයක් බවට පත්කිරීම රජයේ වගකීම බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා ය.
අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ "පොහොසත් රටක අභිමන - ඇය වේ රටක පෙරමග" යන තේමාව යටතේ මෙවර ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම මාර්තු 08 වැනිදා මාතර, රුහුණු විශ්වවිද්‍යාලයේ රබීන්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ ශ්‍රවණාගාරයේ දී අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්වුණු උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය...
ජාතික සුරැකුම් ප්‍රතිපත්තියක්
"අද අප භුක්ති විඳින අධ්‍යාපන අයිතිය, දේශපාලන අයිතිය ඇතුළු සියලු නිදහස් හිමිවුණේ ඉතිහාසය පුරා කාන්තාවන් සිදුකළ අතිමහත් අරගල නිසයි. මේ දිනය මල් පොකුරකට සීමා වූවක් නොවෙයි. එම අයිතිවාසිකම් රැකගනිමින්, අපේ රටේ සෑම ගැහැනියකටම තමන්ගේ ජීවිතය මීට වඩා හොඳ තැනකට ගෙන යා හැකි පරිසරයක් නිර්මාණය කිරීම අපේ පරම අරමුණයි. මෙරට කාන්තා ව්‍යවසායිකාවන් ගේ නිෂ්පාදන හුදෙක් ප්‍රදේශයට පමණක් සීමා නොවිය යුතු යි. ඔවුන් ජාතික ආර්ථිකයේ සක්‍රීය කොටස්කරුවන් බවට පත්කිරීමට අවශ්‍ය පසුබිම රජය විසින් සකස් කරමින් යනවා. ඒවගෙම පවුල වෙනුවෙන් මෙන්ම රටේ ආර්ථිකය වෙනුවෙන් කාන්තාවන් වැටුප් ලබමින් සහ නොලබමින් සිදුකරන අසීමිත කැපකිරීම ඇගයීම සඳහා "ජාතික සුරැකුම් ප්‍රතිපත්තියක්" (National Care Policy) හඳුන්වා දීම වෙනුවෙන් වන යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදය විසින් පසුගිය දා ඉදිරිපත් කළා.
මනුෂ්‍යත්වය සහ සාමය වෙනුවෙන් පෙනී සිටීම
ලෝකයේ සිදුවන විවිධ අර්බුද හමුවේ මනුෂ්‍යත්වය වෙනුවෙන් පෙනී සිටීමට කාන්තාවන්ට විශාල වගකීමක් තිබෙනවා. සහකම්පනයෙන් යුතුව සංවිධානය වී සාමය වෙනුවෙන් හඬ නැගීමට පෙරමුණ ගන්නා ලෙස මම ඔබ සැම ගෙන් ඉල්ලා සිටිනවා.
මෙහි දී සභාව ඇමතූ කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් සඳහන් කළේ, මෙරට ඩොලර් සංචිතය ඉහළ නැංවීමට විදේශ රැකියාවල නිරත වෙමින් කාන්තාවන් වැගිරූ කඳුළට සහ දාඩියට නිසි වටිනාකමක් ලබාදෙන යුගය දැන් උදා වී ඇති බවයි. ව්‍යවසායිකාවන්, ගෘහමූලික කාන්තාවන් මෙන්ම හිංසනයට පත් වූවන් වෙනුවෙන් සියලු අමාත්‍යාංශ ඒකාබද්ධ වූ පුළුල් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන බව ද ඇය පැවසුවා ය.
මෙම ජාතික උත්සවයට සමගාමීව දිවයින පුරා සිටින සාර්ථක කාන්තා ව්‍යවසායිකාවන් 25 දෙනෙකු වෙත ඇගයීම් සම්මාන පිරිනැමීම ද අග්‍රාමාත්‍යවරිය අතින් සිදුවිය.
මෙම අවස්ථාවට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන වෛද්‍ය නාමල් සුදර්ශන, දකුණු පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සුසිරිපාල මානවඩු ඇතුළු තානාපතිවරුන්, මහජන නියෝජිතයින් සහ තවත් පිරිසක් සහභාගී වූහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය


