වී අස්වනු ඉහළ නංවන සැළැස්මක් !

වී අස්වනු ඉහළ නංවන සැළැස්මක් !

ශ්‍රී ලංකාවේ වාර්ෂික වී අස්වැන්න ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ඉදිරි වසර 10ක් තුළ හෙක්ටෙයර් එකකට ලැබෙන අස්වැන්න මෙට්‍රික් ටොන් 5.5ක් දක්වා ඉහළ නැංවීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සැලසුම් කර තිබේ.

මෙම වැඩ පිළිවෙළ යටතේ වසර තුනක් තුළ ටොන් 4.7ක් දක්වාත්, වසර පහක් තුළ ටොන් 5.1ක් දක්වාත් , වසර 10ක් තුළ ටොන් 5.5ක් දක්වාත් වී අස්වැන්න ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් සියලු අංශ ඒකාබද්ධ වෙමින් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය පැවසුවාය.

ශ්‍රී ලංකාවේ වී වගාව ඉහළ නැංවීම ඉළක්ක කර ගනිමින් වී වගාව ආශ්‍රිතව පර්යේෂණ සිදු කර තිබෙන සියලු කණ්ඩායම් ඒකාබද්ධ වෙමින් මේ වනවිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබේ.

දැනට අප රටේ හෙක්ටෙයාර් එකකින් ලබන වී අස්වැන්න මෙට්‍රික් ටොන් 3.5ක් පමණ වේ.

ඒ අනුව බීජ නිෂ්පාදනය, පාංශු පරීක්ෂාව, කාබනික හා රසායනික පොහොර ඵලදායීව යොදා ගැනීම, වී වගාවට නව තාක්ෂණය හඳුන්වා දීම, අස්වනු අලෙවි කිරීම හා කල් තබා ගැනීම හා කෘමිනාශක හා වල්නාශක භාවිතය ආදි සෑම අංශයක්ම ඉළක්ක කරමින් මෙරට වී වගාව පුළුල් කිරීමට අවධානය යොමු කර තිබේ.

මෙම සාකච්ඡාවට සහභාගි වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනට වී වගාවේ අඩුම අස්වැන්නක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන බැවින් බස්නාහිර පළාතේ හා තෙත් කළාපයේ කුඹුරුවලින් ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට හැකි වී ප්‍රභේද හඳුන්වා දීමට පියවර ගන්නා ලෙස උපදෙස් දුන්නේය.

බතලගොඩ වී පර්යේෂණායතනය විසින් නිපදවා ඇති BG 369 නැමැති වී ප්‍රභේදය බස්නාහිර පළාතේ කුඹුරුවලින් ඉහළම වී අස්වැන්නක් ලබා ගැනීම සඳහා නිර්දේශ කළ හැකි බවත්, එම වී ප්‍රභේදය මගින් හෙක්ටෙයාර් එකකට වැඩිම වී අස්වැන්නක් ලබා ගැනීමට හැකි බවත් බතලගොඩ වී පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක මහතා සාකච්ඡා කළේය.

මෙම වසර තුළ බීජ වී නිෂ්පාදනය සඳහා හෙක්ටෙයාර් 8000ක් වෙන් කෙරේ. ඒ සඳහා ගොවින් 10,000කට විශේෂ පුහුණුවක් ද ලබා දීමට නියමිතය. ඒ මගින් සමස්ත බීජ වී අවශ්‍යතාවයෙන් සියයට 25ක් නිපදවීම ඉළක්ක කර ඇති බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න