මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් තත්ත්වය හමුවේ ඉන්දීය සාගරයේ හටගෙන ඇති අර්බුදකාරී වාතාවරණය සම්බන්ධයෙන් රජය ඉතා වගකීමෙන් සහ අවධානයෙන් පසුවන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් මතු කරන ලද කරුණු වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, දෙවැනි ඉරාන නෞකාව ද මෙරට නාවික සැතපුම් 12ක මුහුදු සීමාව තුළ නොමැති බවත්, එය පවතින්නේ නාවික සැතපුම් 200ක් දක්වා විහිදෙන අනන්‍ය ආර්ථික කලාපය තුළ බවත්ය.
මානුෂීය මෙහෙයුම සහ වත්මන් තත්ත්වය
ඊයේ (04) අලුයම 5.08 ට නාවික හමුදාවේ සමුද්‍රීය සෙවුම් සහ මුදාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට (MRCC) ලැබුණු තොරතුරු මත වහාම ක්‍රියාත්මක වූ බව අමාත්‍යවරයා පැවසීය.
මේ වන විට පුද්ගලයින් 32 දෙදෙනෙකු බේරාගෙන කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, එක් අයෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
පුද්ගලයින් 87 දෙනෙකුගේ මෘත ශරීර නාවික හමුදාව විසින් ගොඩට ගෙන එනු ලැබ ඇත.
විශාල මෘත ශරීර සංඛ්‍යාවක් හමුවීම හේතුවෙන් පවතින ශීතාගාර පහසුකම් ප්‍රමාණවත් නොවන බැවින්, පෞද්ගලික අංශයේ සහාය ඇතිව කොළඹින් අමතර ශීතාගාර පහසුකම් ගාල්ල වෙත යැවීමට පියවර ගෙන තිබේ.
"මේ වෙලාව දේශපාලන කෝන්තර පිරිමහන්න හෝ අසත්‍ය තොරතුරු පතුරුවා ජනතාව කුපිත කරවන වෙලාවක් නෙමෙයි. ජාත්‍යන්තර ප්‍රඥප්තීන්ට අනුකූලව ජීවිත හානි අවම කරගැනීමටත්, කලාපීය සාමය රැක ගැනීමටත් රජය උපරිමයෙන් මැදිහත් වෙනවා." - අමාත්‍ය නලින්ද ජයතිස්ස
ජාත්‍යන්තර නීතිය සහ ආරක්ෂාව
අදාළ නෞකාව පවතින කලාපය තුළ ශ්‍රී ලංකාවට හිමිවන්නේ ආර්ථික කටයුතු සම්බන්ධ බලතල පමණක් බවත්, යුදමය මැදිහත්වීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර නීති රීති පවතින බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙම සංවේදී කාරණය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් අද සවස් කාලයේදී හෝ ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

