ඉදිරි මහ කන්නයට පෙර මිණිපේ වම් ඉවුරු ඇළ ව්‍යාපෘතියේ වැඩ කටයුතු අවසන් කරන්න උපදෙස්

ඉදිරි මහ කන්නයට පෙර මිණිපේ වම් ඉවුරු ඇළ ව්‍යාපෘතියේ වැඩ කටයුතු අවසන් කරන්න උපදෙස්

විවිධ හේතු මත වසර 03කට අධික කාලයක් ප්‍රමාද වූ මිණිපේ වම් ඉවුරු ඇළ පුනරුත්ථාපන ව්‍යාපෘතිය කඩිනම් කර, ඉදිරි මහ කන්නයට පෙර එහි ප්‍රතිලාභ ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ඊයේ (19) පස්වරුවේ මිණිපේ අමුණ ඉදිකිරීම් භූමියේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.

ව්‍යාපෘතියේ සැලැස්ම පරීක්ෂා කළ ජනාධිපතිවරයා එහි ඉංජිනේරුවන්ගෙන් ව්‍යාපෘතියේ ක්‍රියාකාරිත්වය පිළිබඳව ද කරුණු විමසීය.

එහිදී වැඩබිම් කළමනාකරු කසුන් ගුණවර්ධන විසින් ව්‍යාපෘතිය පිළිබඳ හැඳින්වීමක් සිදු කරන ලදී.

ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු වෙනුවෙන් මෙරට ඉංජිනේරු පීඨවල සිසුන්ගේ සහාය ලබා ගැනීමේ හැකියාව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

විදුලිය සඳහා ඉල්ලුම උච්චතම අවස්ථාවන්හි දිනකට දෙවරක් රන්ටැඹේ ජල විදුලිබලාගාරයෙන් ජලය නිකුත් කිරීම් සිදු කරන අවස්ථාවන්හිදී වම් හා දකුණු ඉවුරු ඇළ මාර්ග සඳහා ජලය නිකුත් කිරීමට දැනට පවතින අමුණ ප්‍රමාණවත් නොවේ. මේ හේතුවෙන් මිණිපේ ගොවි බිම් සඳහා වඩා විශ්වාසනීය හා අඛණ්ඩව ජල සැපයුමක් පිණිස මිණිපේ අමුණ වේල්ල මීටර 3.5 කින් එසවීම හා කිලෝ මීටර 74ක දිගින් යුතු මිණිපේ වම් ඉවුරේ ප්‍රධාන ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම් ආරම්භ කෙරිණි.

මිණිපේ අමුණ ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු ගොවි ජනතාවට නිරන්තරයෙන් ජලය ලබාදීමේ හැකියාවක් ඇති අතර මිණිපේ වම් ඉවුරු ඇළ දෙපස වගා බිම් යල - මහ දෙකන්නයේ අවහිරයකින් තොරව වගා කිරීමේ හැකියාව ලැබෙයි. එයින් සෙත සැලසෙන ගොවි පවුල් සංඛ්‍යාව 15,000කි.

ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 3,000ක් වන අතර China Gexhouba Group Company Limited (CGGC) සමාගම ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබයි.

1948 වසරේ ඉදිකෙරුණු මිණිපේ අමුණ අවසන් වරට ප්‍රතිසංස්කරණය කර තිබෙන්නේ 1980 වසරේදී ය. එහි ප්‍රතිසංස්කරණ කටයුතු නැවත සිදුවන්නේ වසර 40කට පසුව වීම විශේෂත්වයකි.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා සහ මිණිපේ වම් ඉවුරු ඇළ පුනරුත්ථාපන ව්‍යාපෘති කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී.බී. විජේරත්න, ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉන්දික වලිසුන්දර ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

{gallery}rw-20{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න