Language Switcher

V2025

නව සමාජ ක්‍රමයක් සඳහා විනයගරුක නායකත්වයක් අවශ්‍යයි -ජනපති

රටක අනාගතය භාරගැනීමට නම් විනයක් සහ කැපවීමක් අවශ්‍ය බවත් විනය ගරුක සමාජයක් තුළින් ශ්‍රී ලංකාව නව මානයක් කරා ගෙන යාමට ලබන වසරේ සිට සැලසුම් ක්‍රියාත්මක කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අවධාරණය කළේය.

අද ජනතාවට ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වූවත් මෙය අපේක්ෂා කළ යුත්තේ කෙටි කලක් සඳහා පමණක් වන බව සඳහන් කළ ජනාධිපතිවරයා රටේ ජනතාවගේ ආර්ථිකය යහපත් තැනකට ඔසවා තැබීම මෙම වසර අවසාන වීමට පෙර සිදුකරන බව ද පැවසුවේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කළේ, ජාතික ශිෂ්‍යභට බළකාය වෙත ජනාධිපති වර්ණ හා බළකා වර්ණ ප්‍රදානය කිරීම වෙනුවෙන් රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේ දී අද (19) පැවති උත්සවයට සහභාගී වෙමිනි.

වසර 142 ක ඉතිහාසයක් සහිත ජාතික ශිෂ්‍යභට බළකායට ජනාධිපති වර්ණ හා බළකා වර්ණ ප්‍රදානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් සිදුකෙරිණි.

ජනාධිපති වර්ණ සහ බලකා වර්ණ ප්‍රදානය කිරීමෙන් අනතුරුව ශිෂ්‍ය භට බළකා ආචාර පෙළපාළිය නිරීක්ෂණ සඳහා ද ජනාධිපතිවරයා එක්විය.

රට තුළ ශක්තිමත් ආර්ථිකයක් මෙන්ම අලුත් සමාජයක් ඇති කළ යුතු බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා රටේ තරුණ තරුණියන් වෙනුවෙන් නිර්මාණය කෙරෙන එම අලුත් සමාජය වෙනුවෙන් විනයගරුක නායකත්වයක් ශිෂ්‍යභට බළකායෙන් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ ද පැවසීය.

"මේ වන විට ශිෂ්‍ය භට බලකාය පාසල් ගණනාවක ක්‍රියාත්මක වෙනවා. මම ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාටත්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාටත් පැවසුවේ අපි සෑම මධ්‍ය මහා විද්‍යාලයකම ශිෂ්‍ය භට බළකායක් ඇති කළයුතුයි කියලා. අපි මෙය තවදුරටත් දියුණු කරමින් ඉදිරියට ගෙන යා යුතුයි. එමඟින් මේ රටට අවශ්‍ය විනයගරුක පුරවැසියන් බිහි වනු ඇතැයි මම විශ්වාස කරනවා.

ඒ වගේම මේ ශිෂ්‍ය භට බළකායේ සිටින සිසුන්ට හොඳ අනාගතයක් උදාකර දිම රජයේ වගකීම වෙනවා. ශිෂ්‍ය භට කණ්ඩායම්වල ඉන්න දරුවන්ට රාජ්‍ය ආයතනවල පුහුණුවීම් කිරීමේදී අවශ්‍ය කෝටාවක් ලබාදීමට ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයා මෙතැන ඉන්න වෙලාවෙ මම යෝජනා කරනවා. අපි මේ අයගේ අනාගතය සුරක්ෂිත කළ යුතුයි. මොකද විනයක් සමග ඉදිරියට යන ඔබට පුහුණුවක් ලබාදෙන්න අපි කැපවී කටයුතු කළයුතුයි.

ඒ වගේම ඔබේ අනාගතය පිළිබඳ අපි අවධානය යොමු කර තිබෙනවා. ඔබට, ඔබේ දෙමාපියන්ට මෙන්ම රටේ ජනතාවට අද මුහුණදීමට සිදුව තිබෙන අසීරුතාව පිළිබඳ මට හොඳ අවබෝධයක් තිබෙනවා. ආර්ථික වශයෙන් විශාල බරක් අපි සියලුදෙනාටම දැරීමට සිදුව තිබෙනවා. අපිට වෙනත් විකල්පයක් නැහැ. ජනතාවට අද දුෂ්කරතාවලට මුහුණදීමට සිදුවුණත් මෙය දරාගත යුත්තේ කෙටි කාලයක් පමණයි. මේ වසර අවසන්වීමට පෙර මේ තත්ත්වය වෙනස් වෙනවා පමණක් නොවෙයි ඉන් පසුව අපි අලුත් ආර්ථිකයක් ගොඩනැගිය යුතුයි.

අපි ශක්තිමත් ආර්ථිකයක් මෙන්ම අලුත් සමාජයක් ඇතිකරගත යුතුයි. අපි ඒ සමාජය ගොඩනඟන්නේ රටේ තරුණ පිරිස වෙනුවෙනුයි. එවන් නව සමාජ ක්‍රමයක් ඇතිකිරීමට නම් විනයගරුක නායකත්වයක් අවශ්‍යයි. එම නායකත්වය ශිෂ්‍යභට බළකායෙන් ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.

අනාගතය භාරගැනීමට නම් විනයක් සහ කැපවිමක් පැවතිය යුතුයි. ඒ සඳහා සුදුසුකම් ලැබූ පිරිස සිටින මෙම ශිෂ්‍ය භට බළකාය දියුණු කිරීමට සහ එහි සිටින සියලුදෙනාගේ අනාගතය යහපත් කිරීමටත් අප කැපවී සිටින බව සිහිපත් කරනවා.

වසර 142ක් මේ රටට සේවය කළ ජාතික ශිෂ්‍ය භට බළකාය ජනාධිපති වරණ සහ බලකා වර්ණ ලබන මෙම අවස්ථාවේ මම සියලුදෙනාට මගේ සුබපැතුම් පිරිනමනවා."