75 වන නිදහස් සැමරුමට සමරු මුද්දරයක් සහ සමරු කාසියක්

75 වන නිදහස් සැමරුමට සමරු මුද්දරයක් සහ සමරු කාසියක්

75 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සමරු මුද්දරය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ විශේෂ සමරු කාසිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වෙත පිළිගැන්වීම අද (02) පෙරවරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී සිදු විය.

සමරු මුද්දරය ජනමාධ්‍ය ප්‍රවාහන හා මහා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් ද, සමරු කාසිය මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ  විසින් ද ජනාධිපතිවරයාට පිළිගන්වනු ලැබීය.

සම්ප්‍රදායිව තැපැල් දෙපාර්තමේන්තුව විසින් අනුගමනය කරන ක්‍රියාමාර්ගයන්ට අනුකූලව රුපියල් 50ක වටිනාකමකින් යුතුව නිකුත් කර ඇති මෙම සමරු මුද්දරය සහ මුල්දින කවරය අද සිට දිවයිනේ සියලුම තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාලවලින් අළෙවි කෙරේ.

මේ හා සමගාමීව ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශය විසින් මහනුවර, ත්‍රිකුණාමලය, කුරුණෑගල, ගාල්ල සහ මීගමුව ප්‍රදේශවල ස්ථාපිත කර ඇති විශේෂ මුද්දර කවුළු මගින් මෙම සමරු මුද්දරය සහ මුල්දින කවරය මිලදී ගැනීමට අවස්ථාව සළසා තිබේ.

75 වන ජාතික නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ නිදහස් මුද්දර දැක්ම සහ කෞතුකාගාර ප්‍රදර්ශනය පෙබරවාරි 06 වනදා සිට 12 වනදා දක්වා පෙ.ව 9.00 සිට ප.ව 7.00 දක්වා කොළඹ 10 ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි තැපැල් මූලස්ථාන පරිශ්‍රයේ දී පැවැත් වේ.

රුපියල් දහසක වටිනාකමකින් යුතු 75 වන නිදහස් දින සමරු කාසිය සංසරණය සඳහා නොවන අතර ශ්‍රී ලංකා මහබැංකුව විසින් නිකුත් කරන ලද 71 වන සමරු කාසිය මෙයයි.

“75” අංකය විශාල ඉලක්කමකින් සහ ශ්‍රී ලංකා ජාතික ධජය ඔසවාගෙන සිටින ආකාරය කාසිය මධ්‍යයේ දැක්වේ. කාසිය ඉහළ දාරයේ පරිධියේ ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ භාෂාවලින් “නිදහස් සැමරුම” ලෙස දැක් වේ. “1948 – 2023” වර්ෂ කාසියේ පහළ දාරයේ පරිධියේ දැක් වේ. මුහුණත වටිනාකම “1000” විශාල ඉලක්කමින් කාසිය මධ්‍යයේ දැක්වේ. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් “රුපියල්” යන වචන මුහුණත වටිනාකමට පහළින් දැක්වෙන අතර ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය මුහුණත අගයට ඉහළින් දැක්වේ. ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ භාෂාවලින් “ශ්‍රී ලංකා” යන වචන කාසියේ ඉහළ දාරයේ පරිධියේ දැක්වේ.

ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිට, වැඩබලන තැපැල්පති එස්. ආර්. ඩබ්ලිව්.එම්. ආර්. පී. සත්කුමාර, නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) රාජිත කේ. රණසිංහ, නියෝජ්‍ය තැපැල්පති (මධ්‍යම පළාත්) චමීෂා ද සිල්වා, මුද්දර කාර්යාංශයේ අධ්‍යක්ෂ ලංකා ද සිල්වා, ජ්‍යෙෂ්ඨ ප්‍රචාරක නිලධාරී චන්න මුණසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න