වික්ටෝරියා නූලන්ඩ් ජනපති හමුවෙයි

වික්ටෝරියා නූලන්ඩ් ජනපති හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සහ ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් (Victoria Nuland)  අතර සාකච්ඡාවක් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

රට මුහුණ දී සිටි දුෂ්කරම තත්ත්වය හමුවේ ඇමෙරිකා එක්සත් ජනපදය ලබා දුන් සහය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සිය කෘතඥතාවය පළ කර සිටියේය.

එහිදී ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ්  සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා දරණ ප්‍රයත්නයන් සඳහා තවදුරටත් සිය රජයේ සහයෝගය ලබා දෙන බවය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කෙරෙන සාකච්ඡා පිළිබඳව ද මෙහි දී අවධානය යොමු වූ අතර මතුව ඇති ගැටලු කඩිනමින් විසඳා ගැනීම සඳහා එක්සත් ජනපදය අඛණ්ඩව සහය දක්වන බව වික්ටෝරියා නුලන්ඩ්  අවධාරණය කළාය.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සහ ඒ සම්බන්ධව රටේ සුළු පක්ෂ සමඟ පැවැත්වෙන සාකච්ඡා මෙන්ම සංහිඳියාවට අදාළව ගෙන යන ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළේය.

වර්ධනය වන මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව කටයුතු කිරීමේ අඛණ්ඩ උත්සාහයන් පිළිබඳව ද සාකච්ඡාවේ දී අවධානය යොමු වූ අතර ඒ සඳහා එක්සත් ජනපදයේ පූර්ණ සහාය ලබා දෙන බව වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය ප්‍රකාශ කළාය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන අය සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති ජුලි චන්ග්  ඇතුලු නියෝජිත කණ්ඩායමක් මේ අවස්ථාවට සහභාගි වූහ.

UN Delegation 01

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න