කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය වෙනුවෙන් සාමූහික එකඟතාවක් !

කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය වෙනුවෙන් සාමූහික එකඟතාවක් !

කුකුළු මස් හා බිත්තර නිෂ්පාදන කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් සියලු පාර්ශ්වයන් සාමූහික එකඟතාවකට පැමිණීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ.

කුකුළු මස් හා බිත්තර නිෂ්පාදන කර්මාන්තයේ මතුව ඇති ගැටලු පිළිබඳ සාකච්ඡාවක් ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී පැවැති අතර එහිදී මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි.

කුකුළු මස් හා බිත්තර නිෂ්පාදන කර්මාන්තයේ නිරතවූවන් සහ ඊට අදාළ රේඛීය ආයතන වල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේ දී සත්ව ආහාර හිඟය, අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම, ඉන්ධන අර්බුදය, ප්‍රවාහන ගැටලු, ආනයනය කරන සත්ව ආහාර සඳහා පවතින විදේශ විනිමය ගැටලු යනාදිය සහ ඒ සඳහා ලබාගත හැකි විසඳුම් පිළිබඳ අවධානය යොමු විය.

මෙම කර්මාන්තයට සම්බන්ධ සියලූ පාර්ශ්වයන් සාමූහික එකඟතාවකට පැමිණීමෙන් කර්මාන්තයෙහි පවතින බහුතරයක් ගැටලු විසඳාගත හැකි බව පෙන්වා දුන් ආචාර්ය සුරේන් බටගොඩ මහතා, එම තත්ත්වය යටතේ බිත්තර හා කුකුළු මස් නිෂ්පාදනවල මිල ගණන් තීරණය කිරීමට හැකියාව ලැබෙන බව ද පෙන්වා දුන්නේය.
කුකුළු මස් හා බිත්තර නිෂ්පාදන කර්මාන්තය අපනයන කර්මාන්තයක් බවට පත්කිරීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බවත්, ඒ සඳහා කර්මාන්තයේ නියුතු සියලුදෙනා සාමුහික එකඟතාවකින් එහි උන්නතියට කැපවනු ඇතැයි ජනාධිපතිවරයා අපේක්ෂා කරන බවත් ඒ මහතා පැවසීය.

බිත්තර වෙළෙඳ සංගමයේ සභාපති, ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති, සමස්ත ලංකා බිත්තර නිෂ්පාදන සංගමයේ සභාපති සහ ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලයේ සභාපතිවරයා මෙම කර්මාන්තය තුළ පවතින ගැටලු සහ ඒවාට ලබාදිය හැකි විසඳුම් ‍පිළිබඳ මෙහිදී යෝජනා ඉදිරිපත් කරනු ලැබූහ.

කුකුළු මස් හා බිත්තර නිෂ්පාදන කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් සාමුහික එකඟතාවකට එළැඹීමට කැමැත්ත පළවීම ද විශේෂත්වයක් වූ අතර කර්මාන්තයේ සුරක්ෂිතතාව වෙනුවෙන් ජනාධිපති කාර්යාලය සිදුකළ මැදිහත්වීමට ද සියලුදෙනා ප්‍රශංසාව පළ කළහ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ, වෙළෙඳ වාණිජ්‍ය හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු සහ රේඛීය ආයතනවල නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න