ලංකාවේ වන ආවරණය 16% දක්වා අඩු වී ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා අසත්‍යයි !

ලංකාවේ වන ආවරණය 16% දක්වා අඩු වී ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා අසත්‍යයි !

ලංකාවේ වන ආවරණය 16%ක් දක්වා අඩු වී ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා අසත්‍ය බව වන සංරක්ෂක ජනරාල් කේ.එම්.ඒ. බණ්ඩාර සඳහන් කළේය.

අදාළ මාධ්‍ය වාර්තා පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව තිබෙන අතර, ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ උපදෙස් පරිදි කළ විමසීමකදී වන සංරක්ෂක ජනරාල්වරයා මේ බව අවධාරණය කල බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන අතර එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

වන ආවරණය පිළිබඳ තක්සේරුව සිදු කරනු ලබන්නේ වසර පහකට වරක් වන අතර 2020 වර්ෂයේ සිදු කළ සංගණනය මෙම වසරේ ජූනි මාසයේදී අවසන් කිරීමට නියමිත බවත් 2015 වර්ෂයේ දී සිදුකළ සංගණනයට අනුව ශ්‍රී ලංකාවේ ස්වභාවික වනාන්තර මුළු භූමි ප්‍රමාණයෙන් 29.15%ක් (හෙක්ටයාර් 1,912,970) වූ බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

රට තුල ක්‍රියාත්මක වන නොයෙකුත් සංවර්ධන කටයුතු සහ වෙනත් මානව ක්‍රියාකාරකම් නිසා වනාන්තර ප්‍රමාණයේ යම් අඩු වීමක් සිදුව ඇති නමුත් මාධ්‍ය වාර්තාවල සඳහන් පරිදි වනාන්තර ප්‍රමාණය 16% ක් දක්වා අඩුවීමක් කිසිසේත් සිදුවී නොමැති බව ද වන සංරක්ෂක ජනරාල්වරයා පැවසිය.

මාධ්‍ය වාර්තා අනුව අද වන විට ශ්‍රී ලංකාවේ වනාන්තර ප්‍රමාණය මුළු භූමි ප්‍රමාණයෙන් 16% ක් නම් රටෙහි පවතින වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර 1,040,000 විය යුතු බවත්, එනම් 2015 සිට වසර හත තුල වනාන්තර හෙක්ටයාර 872,970 ක් විනාශ වී තිබිය යුතු බවත් පෙන්වා දෙන ඒ මහතා එය වසරකට හෙක්ටයාර 124,710 ක් වන අතර දිනකට හෙක්ටයාර 341ක වන විනාශයක් වියයුතු බව ද සඳහන් කළේය.

වනාන්තර පිළිබඳ දත්ත ඉදිරිපත් කිරිමේ දී වනාන්තර තක්සේරු කරන ලද ආකාරය විස්තර කළ යුතු අතර එහිදී වනාන්තර නිර්වචනය, වනාන්තර ප්‍රමාණය තක්සේරු කිරීමේ ක්‍රමවේදය, වනාන්තර ප්‍රමාණය තක්සේරුව යන මූලික කරුණු දැක්විය යුතු වුවත් වන ආවරණය අඩුවී ඇති බව සඳහන් කර තිබූ මාධ්‍ය වාර්තාවල අදාළ දත්ත ලබාගත් කිසිදු මූලාශ්‍රයක් දක්වා නොමැති බවත් වන සංරක්ෂක ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

තවද මාධ්‍ය වාර්තාවල දැක්වෙන අන්දමේ විශාල වන විනාශයක් සිදුවේ නම් එය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය මෙන්ම ගුවනින් වනාන්තර නිරීක්ෂණය කරන ශ්‍රී ලංකා ගුවන් හමුදාව ආදී ආයතන මගින් නිරීක්ෂණය කළ යුතුය. නමුත් මෙවැනි විශාල වන විනාශයන් මෙම කිසිඳු ආයතනයක් වෙත වාර්තා වී නොමැත. තවද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වනාන්තර සිතියම් යාවත්කාලීන කරමින් සිටින බවත් එම කටයුතු වලදී ද මෙවැනි වන විනාශයක් නිරීක්ෂණය වී නොමැති බවත් වන සංරක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න